Monday, April 27, 2015

මෘත ශරීරයක් කතා කරයි!


මා දහදුක් විඳලා හදාගත්  විශාල​ ගෙයි සාලයේ, එක් කොනක දමා තිබූ ඇඳක හැල හොල්මනක් නැතිව මා නිදා සිටියෙමි. ඒ, පෙර දිනවල මා සැප පහසුවට සැතපෙන මගේ යහනය​ම වූ නමුත්, අද මා නිදා සිටින්නේ මෙට්ට, කොට්ට කිසිවක් නැති, හිස් ලෑල්ලක් මතය. සැප පහසු පොරෝනයක් මට තිබිය දීත්, මා අද නිදා සිටින්නේ සුදු පාට​ කපු රෙදි යාර කිහිපයක් ශරීරයේ දවටාගෙනයි​. එය තුලත මා පැලඳ සිටියේ ප්‍රමිතියට මැස්මක්වත් නොයොදා අත්මැස්මකින් නිමකර තිබූ  එක්තරා පැලඳුමකි. පෙර කිසි දිනක නොපැලඳී ඇඳුමක් වූයෙන්, එය පැලඳ සිටීම මට පීඩාවක් විය​. මදිවට මා නිදා සිටියේ, ශරීරයේ දවටා ඇති ඒ රෙරෙද්ද වටා, රෙදි පටිවලින්, තැනින් තැන බැඳගෙනය. මගේ අත් දෙක හා පය එකින් එකට යා කර බැඳගෙනත් මා නිදා සිටියේ ආයේ නොසෙලවෙන්නමය​. නිකටය ලං කර මුහුන වටා තවත් රෙදි පටියකින් බැඳ සිටි මා නිසොල්මන්ව නිදා සිටියෙමි.

 විරාමයකින් තොර පිරිස් එන්න වූ නිසා සාලය ප්‍රදර්ශන කුටියක් මෙන් දිස් විය. අද​ එහි ප්‍රදර්ශන වස්තුව වුනේ මමයි. පෙර පැමින සිටින්නන් රැඳී සිටිය දී, පසුව පැමිනෙන්නන් කෙලින්ම පැමිනියේ මා අසලටය​. හිස පහත් කරමින් මොහොතක් මා දෙස බලා සිටිමින් ඉඳ, සෙස්සන් සමඟ ඔවුන්ද මුසු වූයේ හැඟීම්බර විලාසයෙනි. හැඟීම්බර වුවන්, සියුම් සංවාදවල නිරතවන්නට වූනේ එකා අනෙකාට නො ඇසෙන විනයකිනි. සමහරුන්, ඔහේ බලාගත්තු අතේ සිටියේ කවදා හෝ තමන්ටත් අත්වෙන මෙම ඉරම ගැන සිතින් මෙනෙහි කරමිනි. සිනා හඬන්ද ශාලාව තුල අතරින් පතර අසෙන්න වුනේ ඔවුන් අතරින් කියවුනු විහිළුවන් නිසා විය යුතුයි. එයින් විමතියක් ඇති වූ මට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති විය​. ​ පැමින සිටින්නන්ට අසල් වැසියන් තේ හා සිසිල් පැන් පිරිනැමුවේ තමන්ගේ යුතුකමක් වශයෙනි. සමහරුන් ඒ මගින් තම තිබහ නිවා ගත් අතර තවත් සමහරුන් ඒවා ප්‍රතික්‍ෂේප කලෝය. මා දියපොදක් හෝ නොගෙන නිරාහාරව නිදා සිටියෙමි.

සෙස්සන්ගෙන් මිදී සිටි මගේ ඥාති මිත්‍රාදීන්ගෙන් සමහරක්,  තම අත් ඔර්ලෝසුවන් දෙස බලමින් නොසන්සුන් බවකින් පෙලෙන​ බවක් පෙනිනි. ඉක්මන් පයින් එහි මෙහි සැරිසරන්න වූ ඔවුන්, ඒ නොසන්සුන්තාවය මත්තෙන් 'ඇයි තාම නැද්ද​? කීය වෙයිද​? පරක්කු වෙනවා' ලෙස අසනවාද, 'කිට්ටු කලාලු, තව ටිකකින් හේන්දු වෙයි, එතකං අපි අනික් වැඩ ටික කරමු' ලෙස ​කියමින්, අනෙක් පිරිස ඔවුන් අස්වස්සන්න තැත් කරනවත් මට දැනිනි. විටින් විට සාලයට එන්න වූ සොවින් බර මගේ දරුවන් වෙත, යම් යම් උපදෙස් දෙන්නටත්  ඔවුන් කලමනාකරණය කිරීමත්  ඥාති මිත්‍රාදීන් කල බව මා දිටිමි. අහිංසක ලෙස හිස වනමින්, ඒ ලැබුනු කුමන​ හෝ උපදේශයක් ක්‍රියාවට නැංවීම​පිනිස, ඔවුන් එතනින් නික්ම ගියේ නිදා සිටින මා දිහා බලා, හීන වී යන තම​ ශෝකය, නැවතත් ප්‍රානවත් කරමිනි. ඔවුන්ට කියන්න බොහෝ දේ මට තිබුනත්, කිසිවක් කියා ගන්න බැරි මා, නිසොල්මන්ව නිදා සිටියෙමි.

පසු ගිය පැය කිහිපය තුල දී, මගේ දරුවන්ගෙන් මට දකින්න පුළුවන් වුනේ මගේ පුතුන් පමනය​. විටින් විට මා වෙත පැමිනි ඔවුන්ද ආපසු හැරී ගියේ මා සමඟ වචනයකුද කතා නොකරය​. මගේ දූවරුන් මට​පෙනෙන්නට ආවේ නැත​. ඔවුන් පැමිනියේ මා නින්දට ගිය ඒ මොහොතේ දී පමනය​, පසු වී පැමිනියන් මාවෙත පැමිනියේ ඔවුන් මා දුටු ප්‍රතම අවස්තාවේ දී පමනය​. ඒ මොහොතේ හඬා වැලපුනත් ඔවුන් කවුරුත් දැන් මා අසල​ නැත. මේ...මේ ඇහුනද​?....ඔයාට මං තේ එකක් ගේන්නද​? ඔයාට බගිනිද​? ඔයා බෙහෙත් ටික බිව්වද​? ලෙස නිතරම අසන, මා සමඟ සියල්ල බෙදා ගත් මගේ ආදරනීය බිරිඳ මෙතන නෑ. ගෙහි ඈතක වෙන්න වගේ ඇසුනු ඉකිබිඳුම් හඬ ඇගේම බව මට තේරුනේ එය මගේ ජීවිතය හා මුසුවී තිබුනු එකක් නිසා විය යුතුයි. ගෙයි මිදුලේ කෑ කෝ ගසමින් දුව පනින ළමයින්ගේ ශබ්දයන් මගේ කන වැටී, ඒ මගේ මුනුබුරු මිනිබිරියන්ගේ බව මට තේරුනත්, ලඟට ගෙන්වා ඔවුන්ව වඩා ගන්න මට බැරිය​. මං අද තනිවෙලා බව මට දැනෙයි. වැලපෙන්න වූ සිතින් මා නිසොල්මන්ව නිදා සිටියෙමි.

පිරිස මෙතෙක් අපේක්‍ෂාවෙන් සිටි මගේ බාල සොහොයුරු මාවෙත පැමින නික්ම ගියා පමනි, මා අසල සිටි කෙනෙක් 'හා හා දැන් හරි! තවත් පරක්කු නොවී ගමු! දැනටමත් පරක්කුයි!ලෙස කියනවා ඇසිනි. නිසොල්මන්ව නිදා සිටී මට ඇඬෙන්න ආවේය. ඒ මට යන්න වෙන නිසයි, මගේ බිරිඳ​, දූ දරුවන්, ඥාති මිත්‍රාදීන්, අසල් වැසියන්, මගේ ගෙය​, මගේ ව්‍යාපාරය සැම දේ අත් හැර මගේ නිත්‍ය නවාතැනට යන්නට මගේ කාලය හරිය​​. නිත්‍යමත් නොවනමුත් එහි ගෙවන්න වෙන කාල පරාසය​නිස්චයක් නැති නිසාමයි, නිත්‍ය නවාතැන ලෙස මට කියවුනේ​. යන්න මගේ කැමැත්තක් නැතත් මාව මෙහේ තියා ගන්න කවුරුත් කැමැති නැත. සමාන අවස්තාවලදී මාද ඒ ලෙසම​ කටයුතු කර ඇති බැවින්, මට විශේෂයක් කරන්න කවුරුත් කැමැති වන්නේ නැති බව  මා හොඳින් දනිමි.. මං කොයි තරම් සැලකුවත්, කොයි තරම් ආදරය දුන්නත්, මගේ බිරිඳ හෝ දරුවන් මාව තියාගන්න කැමැති වෙන එකක් නෑ. මා දැන් අසූචියක් පමනක් බව මට තේරිනි. රැඳී සිටි පිරිසේ කිහිප දෙනෙක් මා වෙත ඇදී එනවා මට පෙනිනි,  සිදුවෙන්න යන දේ මට තේරිනි, කිසිවක් කරකියාගත නොහැකි​ වූ මා නිසොල්මන්ව සිත ගල් කරගෙන නිදා සිටියෙමි.

කාත් කවුරුත් නැති ඒ පාලු භූමියේ, අඩි හයක් දිග, අඩි පහක් උස​, අඩි තුනක් පලල, ඒ අඳුරු කුටියයි මගේ නිත්‍ය නිවස​. මා මෙතෙක් කල් ජීවත්ව සිටියේ මගේ තාවකාලික නිවසකය​. ඒ මගේ මනු ලෝ නිවසයි, එය, ආත්මයක්ව ජීව ලැබ​ පිය කොඳු පෙල​, මවු කුස ලෙස නවාතැන් පසු කරමින්, මතු ලොව කරා යන ගමනේ දී, මා තාවකාලිකව රැඳුනු එක්තරා නවාතැනක්  පමනි. මෙය වගා බිමකි, මා මෙහි වපැරූ දෙයින් අස්වැන්න නෙලා ගන්නේ ඒ මතු  ලොවෙහි දීය​. ඒ මතු ලොවේ දී සුගතිය හෝ දුගතිය මා අත් කර ගන්නේ, මා මේ පසු කල නර ලොවේ කල කුසල්, අකුසල් වල ඵලයන් නිසාවෙනි​. විශේෂයෙන්, දේව තෘප්තියට මා භාජනය වීමෙනි. ඒ අරෙන්න කිසිවක් මා අරගෙන යන්නේ නැත​, මෙතෙක් මා හිමිකම් කියූ මගේ දේපල වස්තූන් අදින් පසු මට නැත​, මගේ බිරිඳ හා දූවරුන් ගෙදරින් මට සමුදෙන්නෝය​, මගේ සොහොනට පස් පිඩලි කිහිපයක් දමමින් අවසානයේ දී මගේ පුතුන්ද මට සමුදෙන්නෝය​. එතනින් එහා මං කවුදෝ උන් කවුදෝද වෙන්නෙමු. මා සමඟ එන්නේද ඉන් එහා මාව ආරක්‍ෂා කරන්නේද මා කල යහ ක්‍රියාවන් පමනි.

මා නිදා සිටින ලෑල්ලෙන් වෙනම ඇළුමීනියම් තට්ටුවකට මාව මාරු කරනවා මට දැනිනි. මම මගේ අවසන් ගමන යන්න යන බව මට තේරිනි. 'එපා! එපා! කියා කෑ ගසන්න මට සිතුනත්, එය මට කරන්න බැරි විය​...ඒ....අද මා මල මිනියක් වූ නිසයි.....මා  මල මිනියකි!
Post a Comment