Tuesday, January 5, 2016

මට නොකී කතාව !

 පත්තර පිටුවල ප්‍රධාන ශීර්ශ වූ කාරනාවක් මගේ මතකය අවුරුදු 25ක් ආපස්සට ගෙන​ ගියේය​....ඒ පේරාදෙණිය කැම්පස් එකේ මගේ දෙවෙනි අවුරුද්දයි....

අමතක වෙයිද ඒ සිද්දිය....අම්මෝ....මතක් වෙනකොට, මගේ පපුව දැනුත් ගැහෙනවා....එදා සිදුවුනු දේ පිට කවුරු හරි දැකලා තිබුනා නම්, අපි හතර දෙනාට වෙන්න තිබුනු දේ....

එදා සිද්දිය මගේ මතකයේ නැවතත් මැවී පෙනෙන්න විය​.........


කුරුඳුවත්ත හංදියේ කුණු ගොඩට විසිකල ඇගේ බොඩිය​දෙස ආපසු නොබලා අප ඉවත් වෙලා ගිය හැටි.... 

ගෙදර කැබිනෙට්ටුවේ එය මුල් වරට මා දැකපු සැටි.... 

දැකපු වෙලාවේ මට ඇති වුනු භීතිය....

ශරීර උෂ්නත්වයෙන් තොරව සීතල වී, දෙකට නැමී තිබුනු ඒ දසුන​.... 

පිම්බිලා සුදුවට තිබුනු මුහුනත.... 

මතක් වෙනකොට මගෙ ඇඟ දැනුත් සීතල වෙයි.

ඒ තරම් කල් ගතවෙලා තිබුනේ නෑ.... අලුතයි ගෙනත් හංගලා තිබුනේ.

කාටත් නොපෙනෙන්න කඩදාසිවල​ ඔතලා... 

බ්‍රවුන් පේපර් උරයක බහාලා.... 

නොගැලවෙන්න ගම් අලවලා....

නිසසල ​ඇගේ බොඩිය කුරුඳුවත්තේ කුණු ගොඩට අපි ස්තාන මාරු කලේ, අපේ ලේ වතුර කරගෙනයි....


වෙන කාගෙවත් උනා නම් කමක් නෑ,...

අපි පදිංචි ගෙදර නෝනගේමයි....

බය හිතෙන්නැතිවෙයිද​? නිදාගන්න කාමරේ කැබිනෙට්ටුවේ බොඩියක් දැක්කම​...ඒකත් ගෙදර නෝනගේම උනාම....අම්මෝ............................


මෙතෙන් සිට http://nokieekatha.blogspot.com/2016/01/blog-post_2.html බ්ලොගයේ ඇති මෙම සත්‍ය කතාව ලිපිකරුගේ වචනවලින්ම​, 



 බ්‍රා එකක් කළ හදියක් මතක් වුණේ ඊයෙ පෙරේදා බ්‍රා එකක් හංද වෙච්චි අලකලංචියත් එක්කයි.

විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරෙදී නේවාසික පහසුකම් අත්හිටුවන්න පටන් ගත්තෙ අපි විශ්වවිද්‍යාලයට ගිය අලුතමයි. 

පළමු වසරෙ පේරාදෙනියෙ අක්බාර්-නෙල් ශාලාවෙ නේවාසිකව උන්න අපට දෙවන වසරෙ පිටත නවාතැන් ගන්න වෙනව කියල කලින්ම දැනුම් දීල තිබුණ.

මේ වෙද්දි ගොඩක් ජ්‍යෙෂ්ඨ උත්තමයො නවක වදයෙන් පස්සෙ ෆ්‍රෙෂාල වෙච්චි අපිත් එක්ක කුළුපග වෙලා උන්න නිසා ඒ අය නැවතිලා උන්න ගෙවල් වල කාමර අපට සෙට් කළා.

සමහර නවාතැන් වලට යන්න ලොකු ඉල්ලීමක් තිබුණ. ඒකට හේතු වුණේ ගෙදර ඉන්න කාන්තා පක්ෂයකින් ලැබුණ ධනාත්මක ප්‍රතිචාරත් එක්කයි.

සමහරුන් නවාතැනින්ම දවල් බත් එකත් ඔතාගෙන එද්දි හොරෙන් බිත්තරයක් හෙම බත් මුලට වැටෙන තැන් එහෙමත් තිබුණ.

දවල්ට එහෙම වෙන්නෙ රෑට වෙහෙස වෙලා හාංසි වුණ දවසට කියලත් සමහරු කිව්ව.

එහෙම ගෙවල් වලට  ඉල්ලුම වැඩි වුණා.

මොන හේතුවක් හංදද මංදා අපට එහෙම තැනක් සෙට් වුණේ නැහැ. එහෙම හොයන්න උනන්දු වුනෙත් නෑ. ඒ කාලෙ අපි ඕවට බයයි.

සමහරුන්ට බෝඩිං බත් කන්න ගිහිං ඒ තැන් වලින්ම කරකාර බැඳගන්නත් සිද්ධ වෙලා තිබුණ නිසා බය තවත් වැඩි වෙන්න ඇති.

ධම්මිස්සරෙන් ආව පාලිතත්, ජෝශප් වාස් එකෙන් මා එක්කම ආව සරතුත් කාමර හොයන්න පටන් ගත්තෙ එකටමයි.

අපිට මාතරින් ආව පියසේනත් එකතු වුණා. පියසේන පස්සෙන් පහු ප්‍රියන්ත බවට පත් වුණත් මේ කාලෙ පියසේනම තමයි.

අපි පැණිදෙනියෙන් පටන් අරං අඟුනාවල, කොස්සින්න පැත්ත සිසාරා කාමර හොයන්න පටන් ගත්ත. දවස් ගාණක් එක දිගට ඇවිදල හෙම්බත් වෙලා උන්නෙ.

දන්න කියන අයගෙ  හෝඩුවා වලට ගිය තැන් පවා අපේ හිතට ඇල්ලුවෙ නෑ. හතර දෙනෙකුට එක තැනකින් හොයනව කියන එකත් ලේසිපාසු කාරියක් වුණේ නෑ. මොකද ඒ වෙනකොට කාමර කුලියට දෙන්න කැම්පස් අවට ගම්වල උදවිය පුරුදු වෙලා උන්නෙ නැති  නිසා.

අපි ඇවිදගෙන යන ගමන් ටිකක් පිළිවෙළක් තියෙනව වගේ පෙනෙන ගෙවල් වලට තට්ටු කරල නිකමට අහන්න පටන් ගත්ත කාමර හෙම කුලියට දෙනවද කියල.

තට්ටු කරන්නාට දොර ඇරේ කියල කතාවක් තියෙන්න වගේ අපටත් ගෙදරක දොර අහම්බෙන් ඇරුණ.

මේක ඒ පැත්තෙ හැටියට තරමක්  විශාල ගෙයක්. නිකං වලව් පෙනුමක් තිබුණෙ. ඕනෙ එකක් කියල අපි දොරට තට්ටු කළා.

ගේ අයිතිකාරය එතරම් වයස කෙනෙක් නොවෙයි. අපි උවමනාව කිව්වම පොඩ්ඩක් ඉන්න කියල ගේ ඇතුළට ගියා. සතර කන් මංත්‍රණයක් සිද්ධ වුණා.

ඒ ගොල්ල අලුත බැඳපු ජෝඩුවක්. අලුත කිව්වට අලුතමත් නොවේ. අතදරුවෙක් උන්න. 

භාර්‍යා තොමෝ එළියට  ආවෙ කවුද මේ කැම්පස් ගොබිලො ටික කියල බලන්න වෙන්නැති.

උන්දැව දැක්කම අපි මොහොතකට ගල් වුණා. ලස්සන කාන්තාවක්. අපි හතර දෙනා ඇස් වලින් එකිනෙකා සමග එකඟ වුණා. ආයෙ මොනා අහන්නද...මේ සිරියාකාන්තාව උදේට දැක්කත් මදැයි.

ඔන්න අපි එකිනෙකට යාබද ඉස්සරහ කාමර දෙකක පදිංචි වුණා.

පළවෙනි අවුරුද්දෙත් පාලිත මගෙ රූමා වුණ නිසා මෙවරත් අපි ඒ විදිහටම ඉන්න හිතාගෙන උන්නෙ.

මේ සුන්දර කාන්තාව හරිම කරුණාවන්තයි වගේම ලජ්ජාශීලී කෙනෙක්. අපි නානකාමරයට යන වෙලාවට විතරයි ගේ මැද්දෙන් ගියෙ. ඒ වෙලාවට උන්දැ එළිපහළියට නොයන්න වග බලා ගත්ත.

මෙහෙම සතියක් හමාරක් ගත වුණා. ගෘහමූලික අපට බොහොම හිතවත් වුණා. අපිත් බෝ පැල වගේ හොඳ හැසිරීමෙන් අපේ වැඩක් කරගෙන මේ අයට කරදරයක් නොවෙන්න උන්න.

එක දවසක් රෑ මම මගෙ පොත්පත් වගයක් පිළිවෙළකට තියන්න හිතල අපට දීල තිබුණ කැබිනෙට්ටුව අස්පස් කරන්න ගත්ත.

මළකෙලියයි. මෙන්න යටම ලාච්චුවෙ බ්‍රා එකක්. පත සයිස් බ්‍රා එකක්.

අපි වහාම නේවාසික සංගමය කැඳවල අටකන් මංත්‍රණයක් කළා. අපේ කාමරේ බ්‍රා එකක් තිබීම ලොකු අවුලකට මුල බව තමයි හැමෝගෙම අදහස වුණේ.

හතර දෙනාගෙ අදහස් සම්පිණ්ඩනය කළාම මෙහෙමයි කියැවුණේ.

1. මේ බ්‍රා එක අනිවාර්යයෙන්ම ගෙදර ඇත්තිගේය.

2. එය ගොඩාක් පරණ නැති බව පෙනෙන නිසා (මේ බව තීරණය කළේ       එකිනෙකා වෙන වෙනම සිදුකළ සියුම් පරීක්ෂාවකින් අනතුරුවය.) මෑතක් වන තුරු අඳිමින් සිටින්නට ඇත.

3. මේ තත්ත්වය යටතේ බ්‍රා එක කාමරයේ තිබීම ඉතා අනතුරුදායකය. විශේෂයෙන් අප දේශන වලට ගිය අතරතුර ගෘහමූලිකයා කාමරයට ඇවිත් යමක් සොයන්න ගොස් සඟවා ඇති බ්‍රා එක දැක්කොත් මෙය පවුලේ ප්‍රශ්නයක් වනු ඇත.
සැමියා නැති අතර බිරිඳ නේවාසික තරුණයන්ගේ කාමරයට පැමිණ තිබේ. ඒ මදිවාට කාමරයේදී බ්‍රා එක ගලවා තිබේ. එය එසේ මෙසේ කාරණයක් නොවේ. 

මෙය මෙතරම් කලබල විය යුතු නැති සරල කාරණයක් සේ අද දවසේ පෙනෙුනද එදා අපි සැබැවින්ම කළබල වුණා. 80 දශකයේදී නොවැ.

ඒ කාලෙ බ්‍රා එකක් කියන්නෙ වැල් පොයින්ට් එකක් නෙ. දැන්න නං ඔය stageවලටත් විසි කරන්නෙ. 

බ්‍රා එකක් ලාච්චුවක තිබී හමු වූ බව කියා අයිතිකාරයන්ට ලබා දීම එක විසඳුමක් බව කියවුණත් ඒ සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ.

එසේ නම් මෙය පිටතට ගෙන ගොස් අතුරුදන් කළ යුතු බව තමයි අවසානයට තීන්දු කළේ. එය කරන්නට සිදු වුණේත් මටම තමයි. ඊට හේතුව බ්‍රා එක නමැති සර්පයා සොයා ගත්තේ මා විසින් වීමයි.

ඒ කාලේ ෂොපිං උර තිබුණෙ නෑ. දැං කාලෙ වගේ කැම්පස් ළමයි school bag අරං නොවෙයිනෙ දේශන වලට ගියේ. ෆයිල් කවරෙ දෙකට නමා ගත්ත. ගියා. 

අසංක වගේ අය ෆයිල් කවරෙ ගෙනාවෙත් නෑ. half sheet දෙක තුනක් හතරට නවල කලිසං සාක්කුවෙ දාගෙන අ‍ාවෙ.

ඉතිං බ්‍රා එක පිටතට නොපෙනෙන්න ගෙනියන එකයි ඊළඟ ප්‍රශ්නෙ වුණේ.

මොකද ස්ත්‍රී පාර්ශවය දැක්කොත් හිතයි මූ මේනියා කාරයෙක්. බ්‍රා එක හොරකං කරන්න ඇති කියල.
පිරිමි පාර්ශවය දැක්කොත් බලයි තමන්ගෙ බිරිඳගෙ බ්‍රා එක කොහෙන්ද මූ ළඟ කියල.

අන්තිමේදි ලොකු ව්‍යායාමයකින් පස්සෙ කඩදාසි කොළ වල ඔතල, පරණ brown paper උරයක දාල, උරේ ගම් ගාල අලවල තමයි ගෙදරින් එළියට අරං ගියේ. නිකං නොවෙයි තුන් දෙනෙකුගෙ ගාඩ් පිට. කෑමදාසයි, ලුබ්බයි, මී හරකයි තමයි තුන්දෙනා. (කැම්පස් කාඩ්  දැම්මෙ අපේ සමකාලීනයො නමින් දන්නෙ නැති නිසා. නැතිව මේ නිකං කින්ඩියට වගේ නං නොවෙයි ඕං)

පාර්සලය අරං ගියේ හරියට පංසලට පිරිකර ගෙනියන්න වගේ. පල්ලියෙ පූජාවට පඬුරු ගෙනියන්න වගේ බොහොම සාන්තදාන්ත විලාශයෙන්. කාටත් සැක නොහිතෙන්න.

ඒත් ඒක විසි කළේ කුරුඳුවත්ත හරියෙ වංගුවෙ තිබුණ කුණු ගොඩකට.