Saturday, March 26, 2016

සෙ​zයිනබ් - අබූ අල් ආස්ගේ ආදර අන්දරය​





   එය වෙනෙකුගේ නොව, වක්තෘ මුහම්මද්ගේ වැඩිමහල් දියණිය සෙzයිනබ්ගේ හා ඇගේ ඥාති සහෝදර  අබූ අල්- ආස්ගේ ආදර කතාවයි. සෙzයිනබ් ඉතාමත් පියකරු යුවතියක් වූ අතර අබූ අල්-ආස් ඉහළ ගති පැවැතුම් වලින් පිරුනු  මුහම්මද් ප්‍රිය කල පුද්ගයෙක්ද විය​. එකම පවුලෙන්ම පැමිනි මේ දෙපල කුරයිෂ් කුලයට අයත් වෙයි.
සෙzයිනබ් බින්ත් මුහම්මද්: සොහොයුරියන් සතර දෙනෙකුගෙන්ද සොහොයුරන් දෙදෙනෙකුගෙන්ද යුත් පවුලක වැඩිමලා ලෙස මුහම්මද්-කදීජා දෙපලගේ ආදර සංග්‍රහයෙන් හැදී වැඩුනු සුඛෝමල තරුණියකි​.

අබූ අල්-ආස් අබූ රාබී: කදීජාගේ සහෝදර රාබීගේ පුත්  නිර්භීත​, නිහතමානී, යුක්ති ගරුක ප්‍රතිපත්තිශීලි  හා තවත් ඇති උසස් ගුණාංගයන්ගෙන් සපිරි කඩවසම් පුද්ගලයෙක් විය. 
දිනක් මුහම්මද් වෙත පැමින සිටි අබූ අල්-ආස් යමක් සැළකර සිටියේය. විශ්වාසද ස්වරයකින් යුතුව​ ඔහු,

"ඔබගේ වැඩිමල් දියණිය විවාහ කර ගැනීමට මා ප්‍රිය කරමි!

 මට ඔබේ කැමැත්ත දෙනවාද​?" ලෙස පැනයක්ද නැගුවේය​.  
.
දයාන්විතව ඔහු දෙස බැලූ මුහම්මද් කියා සිටියේ, 

"ප්‍රතමව​ මම ඇයගෙන් විමසිය යුතුයි" ලෙසය​.

තම දෝණියන් වෙත පැමිනි​ මුහම්මද් "ඔබේ ඥාති සහෝදර​ අබූ අල්-ආස් ඔබව විවාහ කර ගන්න කැමැත්ත විමසනවා? ඔබ මේ ගැන මොනවද සිතන්නේ? ඔහුව ස්වාමියා කර ගන්න ඔබ කැමැතිද? විමසුවේය​.

බලාපොරොත්තු නොවූ පැනය ඉදිරියේ පියාගේ මුහුන කෙලින් බලන්න නොහැකි වූ තරුණ​ සෙzයිනබ් රතු වූ තම පියකරු මුහුන, පහත් කර ගත්තේ ස්ත්‍රීන්ටම හිමි ලැජ්ජාව අගතැන් කරගෙනය​​​. නිශ්ශබ්දතාවයක් මිස පැනයට​ පිළිතුරක් ඇගෙන් ගිලිහුනේ නැත​. පහත් වී තිබුනු ඇගේ මුහුනෙහි, ලැජ්ජහන්විත​ සියුම් සිනහවක රේඛාවක් පමනක් මතුවිය.​ ඒ ඉඟිය මුහම්මද්ට ලබා දුන්නේ, "නිශ්ශබ්දතාවය කැමැත්තේ සළකුන" බවයි.
සියල්ලන්ගේ කැමැත්ත ආශිර්වාදය සමඟ සෙzයිනබ් අබූ අල්-ආස්ගේ විවාහය සිදුවිය​ව. "උදාර වූ ආදර අන්දරයක​ පිටු පෙලගැස්ම එතනින් ඇරඹුනි​! දෙපලගේ ජීවිතය සතුටින් පිරී ගෙවී ගියේය. හොඳ දෙමාපියන්ගේ ආභාෂය ලබා සිටි සෙzයිනබ් තම ස්වාමියාගේ උවමනා එපා කම් දැනගෙන ඉතා බුද්ධිමත්ව ජීවිතය ගෙන ගියාය​. පෙරලා අබූ අල්-ආස්ද බිරිඳට තම ආදරය උපරිමව පිදුවේය​. "අලි' සහ 'උමයිමා' නමින් දරුවන් දෙදෙනෙකුගෙන් ඔවුන් දායාද ලැබුවේ, ඒ ආදරයේ සතුට සනිටුහත් කරන ස්මාරකයන් ලෙසිනි.

පෙර සිදුවීම් සියල්ල සිදුවුනේ තවමත් මුහම්මද් වක්තෘත්වය ලබා නොසිටී තත්වයක් තුලයි. ඒ වනවිටත් මුහම්මද් සාමාන්‍ය මිනිසෙකි.

කාලය සාමාන්‍ය ලෙස ගෙවී ගියේය​,​ මුහම්මද් වක්තෘත්වය ලැබූ අනපේක්‍ෂිත​ එම අවස්තාවේ ඔහුගේ බෑනනුවන් අබූ අල්-ආස් ඔවුන් සමඟ නොසිටියේය​. ව්‍යාපාර කටයුත්තක් නිසා ඔහු මක්කාවෙන් බැහැරවයි සිටියේ​. මක්කාවෙන් බැහැරව සිටි කාලය තුල​ සිදුවූ කිසිවක් පෙරලා පැමිනෙන තුරු අබූ අල්-ආස් දැන නොසිටියේය​. ස්වාමියා පැමිනෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි සෙzයිනබ් ඔහු පැමිනි වහා, සිදුවූ සියල්ල​ කියා අවසන් කලේ, කරාමයක් ඇරියාක් මෙනි​. 

ඒ පුවත අනිර්වාර්‍යයෙන් ඔහුට සතුටුදායී එකක් වේවියි සැක නෑර​ ඇය විශ්වාස කලාය​. වක්තෘත්වයෙන් පිදුම් ලැබූ පියා අනුගමනය කරමින් තමන්ද ඉස්ලාමය වැලඳගෙන ඇති ​පුවත නොසන්සුන් ලෙස​ ඇය කීවේ, ඒ තැබූ විශ්වාසය නිසාමයි​. සෙzයිනබ් අධිතක්සේරුවෙන් සිටි, කුතුහලයෙන් සිටී, ඒ පුවත​ අබූ අල්-ආස්ට සතුටුදායී එකක් නොවීය, වෙනුවට සිදුවුනේ ඔහු නොසන්සුන් වීමයි.

ඇයි ඔබ  ප්‍රතමව එය මට නොකීවේ ? සෙzයිනබ්ගෙන් අබූ අල-ආස් විමසුවේ නොරිස්සන ස්ව්භාවයෙනි.

අනුබල දී  ඇය හා තමාද එකතුවන්න තිබුනු කාරණය, අනුමැතිය නොගෙන​ කල හෝ තමාගේ ස්වාමි අයිතිය මායිම් නොකර කල දෙය, ඔහුට දරුනු පහරක් වුනා විය හැකියි. එයින් ඇතිවුනු නොරිස්සුම, පුරුෂෝත්තමවාදී ඝර්වය​, මමත්වය ඔහුව මුරන්ඩුවෙක් කරන්නත් ඇති හෝ සාමාන්‍යයෙන්ම ප්‍රතිපත්ති ගරුක වූ අබූ අල්-ආස් ප්‍රතිපත්තිය බිඳින්න අකමැති කෙනෙක් වෙන්නත් පුළුවන්, ඔහුගේ චර්‍යාවන් ගැන බලාගෙන යනවිට, එයට කාරනා වන්න උචිත වන්නේ, දෙවනුව සඳහන් වන දෙයයි.  

සෙzයින්බ් සහ අබූ අල්-ආස්ගේ ජීවිතයේ ප්‍රතම වරට මතභේද මතුවිය​..... පරස්පරතාවයක් ඇතිවිය​​."මගේ පියා සත්යවන්තයෙක්, බොරු නොකියන්නෙක් බව ඔබ නොදන්නවාද​​? ඔහු විශ්වාස සහගත පුද්ගලයෙකු ලෙස මුලු මහත් මක්කාවම පිළිගෙන ඇති බවත් ඔබ නොදන්නවාද​​? එහෙව් එකේ වක්තෘත්වය​ ලබා ඇති බවක් කියන හා ඔහු රැගෙන විත් තිබෙන්නේ සත්‍ය ආගමක්ම බව මා පිළිගැනීම වරදක්ද​? ඇය පෙරලා ප්‍රශ්නාන්තරයකින්ම ඔහුට පිළිතුරු දුන්නේ තම​ ගැහෙන හදවතිනි. අනපේක්‍ෂිත විශ්වාසභන්ගයේ විරහය එම වචන තුල හොඳටෝම ප්‍රදර්ශනය විය​.

(ස්වාමි අනුමැතියෙන් තොර කල ක්‍රියාවක වරද නොවැටහුනු, පසු සමාවකටවත් භාජනය නොකල​, කවුරුන් හෝ තමාද​​ ගැහැණියක්ම බව ඇය​මෙයින් අපට පැහැදිලි කලාය​​)

මම විතරද​? මගේ මව​, මගේ සහෝදරියෝ, මගේ ඥාති සහෝදර​ අලී ඉබ්නු අබූ තාලිබ් සියල්ලෝම දැන් ඉස්ලාමය වැළඳගෙන සිටින්නෙමු, ඇයි? ඔබේ ඥාති සහෝදර​ උද්මාන් ඉබ්නු අෆ්ෆාන්! ඔබේ මිතුරු අබූ බක්කර්! ඔවුනුත් දැන් ඉස්ලාමය වැලඳගෙනයි ඉන්නේ" ලෙස  වැඩි දුරටත් කියා තම තර්කයට ඇය ආදාර එකතු කලාය​.

"අබූ අල්-ආස් පාවා දෙන්නෙක්.....බිරිඳ වෙනුවෙන් ඔහු තම මුතුන් මිත්තන්ව ලැජ්ජාවට පත් කලා, ඔහු ගුණමකුවෙක්! ලෙස ජනයා ඇනුම් පද​ කියනවා අහන්න​ මම කැමැති නැහ​" තනි වචනයකින් කියා අබූ අල්-ආස්  අවසන් කලේ බිරිඳගේ තර්ක සියල්ල යට කර දමමිනි. මමංකාරය එතන ඉස්මතුවෙලා තිබුනි.

බිරිඳ සමඟ ඇති අසීමිත​ ආදරය නිසාද මාමන්ඩිට ඇති ඝරුත්වය නිසාද බාල කර ගත් තම​ නිවුනු හඬින් ඔහු නැවතත් ඔහු කියා සිටියේ "ඔබේ පියා සත්‍යවන්තයෙක් බව මා දනිමි.....ඔහු බොරු නොකියන්නෙක් බවත් මා දනිමි.....කිසිවිටක ඔහු ගැන වරදක් මා නොකියමි.....මගේ ඥාතීන්, මිතුරන් වෙනස්වීම ඔවුනොවුන්ගේ දෙයක්.....නමුත් මා....(කෙටි නිහඬතාවයකින් පසු ) කරුණා කරලා ඔබ මාවද තේරුම් ගන්න.....මට සමාවන්න​! කිසි දෙයකට මට බල කරන්න එපා​" බැගෑපත්ව කියා ඔහු තම වචන අවසන් කලේය​.

මෙය ආදරයේ අඩුවක් හෝ අවමන් කිරීමක් නොවෙයි, දෙපිලට බෙදුනු මත බේදයක්. ආදරය තවමත් එලෙසමයි. ඝරුසරුවත් එලෙසමයි. දෙදෙනා ප්‍රතිපත්ති දෙකේ එල්ලී සිටීමයි, ප්‍රශ්නයට තුඩු දුන් කාරනේ.

"ඔබව මම තේරුම් ගෙන සමා නොකලා නම්, වෙන කවුරුන් කරාවිද​? ඔබ ගැන මා නොදනිමිද​? ඔබව මා තේරුම් ගෙන ඇති තරම් වෙන කවුරුන් තේරුම් ගෙන තිබෙනවාද​? කමක් නැහ, ඔබ ඔබේ මතයේම ඉන්න​, නමුත්,  කවදා හරි දිනක සත්‍යය පිළිගෙන ඔබ මගේ මතය සමඟ එකතුවෙන බව මා දන්නවා, ඒ වෙන​තුරු ඔබ අසලම ඉඳ මග බලා ඉන්නම්" දිග සුසුමක් හලමින් කියා සෙzයිනබ් අවසන් කලාය​.

එවෙලේ නොසිතන්න ඇති නමුත්  එම වචනය ඇය අවුරුදු 20ක්ම ඇය​ ආරක්‍ෂා කලා....අබූ අල්-ආස්  විශ්වාස නොකරන්නෙකු ලෙස දිගටම ජීවත් විය.​
කාලය ගෙවී ගියේය​, විරුද්දවාදීන්ගේ අඩතෙට්ටම් ඉහල යත්ම සුලු පිරිසක් වූ මුස්ලිම් වරුන් මක්කාවේ ඉඳ මදීනාවට අත්‍යවශ්‍ය සංක්‍රමණය සඳහා සූදානම් වූහ​. අහෝ ඛේදවාචකයේ තරම​​! සෙzයිනබ් මුහුන පෑවේ උභතෝථෝටික ප්‍රශ්නයකටයි, අන්ත දෙකකට මැදි වූ සෙzයිනබ් කිසිත් කර ගත නොහැකි තත්වයකට පත් වුවාය​. තමා මුස්ලීම් බැවින් මුස්ලීමුන් සමඟ මදීනා සංක්‍රමණය කරනවාද​? නැතිනම් ආදර ස්වාමියා සමඟ මක්කාවේම නතර වෙනවාද? අරගලයක යෙදුනාය​. 

දරුවාගේ සිත තේරුම් ගත් ආදර පියාගෙන් විසඳුම ලැබිනි " ඔබ ඔබේ ස්වාමියා සහ දරුවන් සමඟ මක්කාවේම නතරවෙන්න​"

තම මුස්ලිම් නොවන ස්වාමියා සමඟ මක්කාවේම මුස්ලිම් වශයෙන් ජීවත් වූ සෙzයිනබ් මුහුන පෑ අනෙක් පරීක්‍ෂනය​ වූයේ බද්‍ර් යුද්ධයයි. වක්තෘ මුහම්මද්ගේ ඉතිහාසයේ සිදුවූ පලමු යුද්ධය, බද්‍ර් යුද්ධයයි. බද්‍ර් වලදී අබූ අල්-ආස් මුස්ලීම්වරුන්ට විරුද්ධව සටනට සහභාගී විය​. 

කොයි වැනි මානසිකත්වයකින් සෙzයිනබ් පෙලෙන්න ඇත්ද​, තනි වචනයෙන්, පියාට එදිරිව ස්වාමියා සටන් කිරීමකි. ඇය කාහට ජය පතන්නද​?  කාගේ අතින් දෙදෙනාගෙන් කවුරුන් මැරුම් කන්න සිදුවුවොත්, කවුරුන් වෙනුවෙන් ඇය​ සතුටු වන්නද, කවුරුන් වෙනුවෙන් ඇය හඬන්නද​? කොහොමද ඛේදවාචයේ තරම?

යාඥාවල හඬා වැලපුනු සෙzයිනබ් අල්ලාහ්ගෙන් අයා සිටියේ, තම ස්වමියා මරුමුවට පත් කර තම දරුවන් අනාත නොකරන සේම තම පියා මරුමුවට පත් කර තමාද අනාත නොකරන ලෙසය​.

මුස්ලිම් වරුන්ට ජය අත්වී බද්‍ර් යුද්ධය අවසන් විය. පුවත කනවැකුනු සෙzයිනබ් තතු දන්නන්ගෙන් "මගේ පියා කොහොමද? ඔහුට මොනවද වුනේ? අසා සිටියාය​ "ඔහු හොඳින්! නිරුපද්‍රිතයි! යන සුභාරංචිය ලැබුනි. නැවතත් ඇය​ "විරුද්ද පැත්තෙන් පැමිනි අබූ අල්-ආස්​? "ඔහුට මොකද වුනේ? එයට ලැබුනු පිළිතුර වුනේ, ඔහු සිර අඩස්සියේ බවයි. "අල්හම්දුලිල්ලාහ්"දෙදෙනාම හොඳින් බව දැනගත් සෙzයිනබ් ප්‍රතමව කලේ, අල්ලාහ්ට ස්තූති කිරීමයි. 

මදීනාවේ මුදල් හෝ නිර්නිත යමක් ලබාගෙන සිරකරුවන් නිදහස් කරමින් සිටි වක්තෘන් , කවුරුන් හෝ විසින් කවුරුන්ගේ හෝ නිදහස වෙනුවෙන් තබා තිබුනු යමක් දැකීමෙන් කම්පනයට පත්විය. සිතේ කැකෑරුනු යමක් නිසා එකවැර​ "මෙය කා වෙනුවෙන් කව්‍රුන් ගෙනා එකක්ද​? විමසා සිටියේය​. අබූ අල්-ආස්ගේ නිදහස වෙනුවෙන් ඔබගේ දුව සෙzයිනබ් විසින් එවා තිබුනු එකක්. එය ඇසූ වක්තෘන් "මෙය කදීජා පැලඳූ මාලයයි! කියමින් හඬා වැලපෙන්න වුනේ නැසී ගිය තම ආදරනීය බිරිඳ මතක් කරමිනි. එම දර්ශනයෙන් සියල්ලන්ගේ සිත් සසල විය 

ඉඳ සිටි තැනින් නැගිට ගත් වක්තෘන් තම ජනයා අමතා, අබූ අල්-ආස් පෙන්වමින්" ඕ, මගේ ජනයනි මේ සිරකරුවා මගේ බෑනනුවන් වෙයි, මම මොහුව​ නිදහස් කරන්න මට​ අනුමැතිය දෙනවද​?  මේ මාලයද මගේ දුවගේ වෙයි,  ඈ වෙත​ එය නිදහස් කරන්න මට​ අනුමැතිය දෙනවද​? ඉල්ලා සිටියේය​

සියල්ල එක්ව එක හඬින් "ඔව් අල්ලාහ්ගේ වක්තෘනි " යන පිළිතුර දුන්හ​.

අබූ අල්-ආස් වෙත මාලය ලබා දුන් මුහම්මද් "කදීජාගේ මාලය කාටත් නොදෙන ලෙස සෙzයිනබ්ට කියන්න" ලෙස​ ඉල්ලා සිටියේය​.

අබූ අල්-ආස්! මට ඔබ සමඟ පෞද්ගලිකව යමක් කතා කල  යුතුයි" කියමින් වක්තෘ මුහම්මද් අබූ අල්-ආස්ව පිරිසෙන් තරමක් ඈතට රැගෙන ​ගියේය​. "සමාවන්න​, විශ්වාස කරන්නන් විශ්වාස නොකරන්නන්ගෙන් වෙන් කර තබන ලෙස අල්ලාහ් මට නියෝග කර තිබෙනෙවා, එම නිසා කරුණා කරලා මගේ දුවව මා වෙත භාර දෙනවද?​ අයා සිටියේය​ "තද අකමැත්තක් තිබුනත්, මාමා වෙත පෙර තිබූ ඝරුත්වයෙන් කිසිත් අඩුවක් නොවී තිබුනු අබූ අල්-ආස්ගේ සිත, ඔහුට එකඟ විය​.

තම ස්වාමියා නිදහස් වී තමා වෙත පැමිනෙන තුරු මක්කාවේ රැඳී මග බලා සිටි සෙzයිනබ්, ශෝකාන්විතව හිස පහත් කර ගනිමින්  තමා වෙත පැමිනි ස්වාමියා දැක "ඇයි" මිමිනුවාය​. "මා ඔබ හැර යනවා" ලෙස ඔහු කී වචනය අසා කඩා වැටුනු සෙzයිනබ් කිසිවක් නොවැටැහී තටමන්න වුවාය​. "සැබෑටම ඔබ හැර මා යනවා නෙවෙයි මා හැර ඔබයි යන්නේ" ලෙස අබූ අල්-ආස් ඇයට කාරනය පැහැදිලි කලේය​. අල්ලාහ්ගෙන් ලැබුනු අනක් මිසක් තම පියා කිසිවිටකත් තමාට අසාධාරනයක් නොකරන බව දැන සිටී සෙzයිනබ් එය තේරුම් ගත්තාය​.වේදනාවෙන් වුනත් අනසක පිළිගත්තාය​.

තමාව​ තම ආදරනීය ස්වාමියාගෙන් වෙන් කරන්න වූ එකම හේතුව වන්නේ විශ්වාසයේ ඇති වෙනස්කම පමනක්ම බව දත් සෙzයිනබ්, ඉස්ලාමය වැලඳගෙන තමා සමඟ එකතුවන්න ලෙස නැවතත් සැරයක් අබූ අල්-ආස්ගෙන් බැගෑපත් වුයේ හැඬූ කඳුලෙනි.

නමුත් අබූ අල්-ආස් තම ප්‍රතිපත්තියේ ස්තීරවම සිටියේය​​.
ළමයින්ද කැටුව මදීනාවට ගිය සෙzයිනබ් මදීනාවේම ජීවත් වුවාය​. වෙන්වීමෙන් අවුරුදු හයක් සපිරුනත්, නොයෙක් යෝජනා පැමිනියත්, සෙzයිනබ් නැවත විවාහයක් කරගන්න කිසිවිටක​ කැමැත්ත පල නොකලාය​. කවදා හෝ දිනක තම ස්වාමියා සිත වෙනස් කර ගනිමින්  තමා සොයාගෙන එන බව ඇය තදින් විශ්වාස කලාය​.

ව්‍යාපාර කටයුත්තක් සඳහා මක්කාවේ සිට සිරියාවට මදීනාව හරහා යන්න සිදුවූ අවස්තාවක, චරපුරුශයින් ලෙස සිතා හෝ වෙන යම් හේතුවක් නිසා අබූ අල්-ආස් සහිත වෙළඳ නඩය, නගර ​ආරක්‍ෂකයන්ට කොටු වන්න සිදු විය​. ව්‍යාපාර බඩු බාහිරාදිය සමඟ අනෙකුන් කොටුවෙද්දී එයින් අබූ අල්-ආස්  බේරී පලා ගියේ සෙzයිනබ් නැවැතී සිටි ගෙය සොයාගෙනය​.

දහවල් යාඥාව සඳහා සූදානම් වෙවී සිටී සෙzයිනබ් ගෙය සොයාගෙන දොරට තට්ටු කල අබූ අල්-ආස්ට දොර ඇර "ඔබ එසේ නම් ඉස්ලාමය වැලඳගෙන මා සොයාගෙන ආවා" කියමිනි.

හිස වනමින් "නැහ, මා මෙහි පැමිනියේ සැඟවී පලායන්නෙක් හැටියටයි" හිස පහත් කරමින් පිළිතුරු දුන්නේය​. "ඔබ එසේ නම් ඉස්ලාමය වැලඳ ගන්නේම නැද්ද​? ඇය පෙරලා ප්‍රශ්න කලාය​. නැහැ මා මගේ ප්‍රතිපත්තියේම ඉන්නම්" ලෙස නැවතත් ඔහු පිළිතුරු දුන්නේ ​හද ගල් කරගෙනය​​.

ප්‍රශ්නයක් නැහ​, මගේ ඥාති සහෝදර​ වශයෙන්ද මගේ දරුවන්ගේ පියා වශයෙන්ද ඔබ මගේ ගෙදරට ගොඩවදින්න​" සෙzයිනබ් අබූ අල්-ආස්ව තම ගෙදරට ඇරයුම් කලාය​. 

සමූහ වශයෙන් දහවල් යාඥාව නඩත්තු කර පොදු දේශනාව සඳහා එලි බැස්ස වක්තෘන්ට " අබූ අල්-ආස් ඉබ්නු රාබීව මා නිදහස් කලා" ලෙස මස්ජීදයේ පසු පසින් පැමිනි හඬක් ඇසිනි. 

ඥාතී මිත්‍රාදීන් නිදහස් කිරීමට ලබා දී තිබුනු බලයයි වරප්‍රසාදයෙයි අනුමැතියෙන් සෙzයිනබ් අබූ අල්-ආස්ට නිදහස ලබා දුන්නාය.

දේශනයේ පොදු ජනයා ​අමතමින් සිටි වක්තෘන් "මට ඇසුනු ඒ ශබ්දය ඔබටත් ඇසුනාද​? ලෙස අසා සිටින්නන්ගෙන් විමසුවේය​. "ඔව් අල්ලාහ්ගේ වක්තෘනි, එය ඔබගේ දුවගේ කට හඬයි" ලෙස සියල්ල එකවැර පිළිතුරු දුන්නෝය​. "මොහු මගේ ඥාති සහෝදර​ය​, මගේ දරුවන්ගේ පියාය​, මා මොහුව නිදහස් කරන්නම්" ලෙස නැවතත් සෙzයිනබ් කියන​ හඬ, එවර පැහැදිලිව ඇසිනි​.

ඉඳගෙන සිටි තැනින් නැගිටගත් වක්තෘ මුහම්මද්, මේ අබූඅල්-ආස් මගේ හොඳ බෑනනුවන් බවත්, මොහු කිසිවිටක පොරොන්දු කඩකර නැති බවත්​, බොරු කියල නැති බවත්​, ඔබ ඉදිරියේ මා ප්‍රකාශ කර සිටිමි. ඔබලා එකඟ වෙනවා නම්, අප සන්තකයේ ඇති මොහු ගෙනා බඩු බාහිරාදිය මොහුට නිදහස් කරන්නම්. ඔබ ප්‍රතික්‍ෂේප කරනවා නම්, මම ඔබට දොස් නගන්නේද නැති බවත් මෙමගින් කියා සිටින්නම්. ලෙස තම ජනයා අමතා ප්‍රකාශ කලේය​.

වක්තෘන්ව නිසි ලෙස අනුගමනය කරන්න පුරුදු වී සිටී ඔහුගේ අනුගාමිකයන් වෙනසක් නොවී " ඔව් අල්ලාහ්ගේ වක්තෘනි, අප ඔබ සමඟ එකඟ වෙන්නම්, ඔහුද ඔහුගේ බඩුබාහිරාදිය නිදහස් කිරීම පිළිබඳව අපගේ කිසිම විරුද්දත්වයක් නැත​" ලෙස සියල්ලෝම එක හඬින් කියා අනුමැතිය දුන්හ​.

වක්තෘ මුහම්මද් දෝනී සෙzයිනබ් වෙත හැරී, " ඔබ නිදහස් කල පුද්ගලයා මෙයින් අපද නිදහස් කර ඇත්තෙමු" ලෙස කියා ඇය රැඳී සිටි ස්තානය දක්වා පිය නැගුවේය​ "ඔහු ඔබේ ඥාති සහෝදර​ද ඔබේ දරුවන්ගේ පියාද වන්නේය​, ඔබ ඔහුට උදාරශීලී වන්න, නමුත්, ස්වාමිපුරුශයා වශයෙන් ඔබට ලංවන්න ඔහුට ඉඩ නොදෙන්න​,  විශ්වාස නොකරන්නෙක් ලෙස ඔහු ඔබට තහනම්‍ය​" ලෙසද නිවුනු හඬින් කීවේය​.

"එසේමයි මගේ පියානෙණි, නියතවම​ මා ඔබ කී ලෙසම කරන්නම්" ඇය ඝෞරවාන්විතව පිළිතුරු දුන්නාය​. 

තවමත් රහසක් ලෙස සිතා ඇගේ නිවසට වෙලා සැඟවී සිටින අබූ අල්-ආස් වෙත පැමිනි සෙzයිනබ් " අනේ අබූ අල්-ආස්! ඇයි ඔබ මේ තරම් මුරන්ඩු? ඔබට අප නැතුව මෙහෙම ඉන්න පුළුවන්ද? අපේ පාලුව ඔබට දැනෙන්නේ නැද්ද​? මුස්ලිම් කෙනෙක් වෙලා අප සමඟ මෙහේම නවතින්න ඔබට බැරිද​? බිඳුනු ස්වභාවයෙන් ඇයදී සිටියාය​.​

කනගාටු ලෙස එය ප්‍රතික්‍ෂේප කල අබූ අල්-ආස් සෙzයිනබ්ට ස්තූති කර තම බඩු බාහිරාදිය රැගෙන එතනින් පිටව ගියේය​. 

මක්කාවට පැමිනි අබූ අල්-ආස් ඔහු වෙත වෙළඳ භාන්ඩ ලබා දුන් සේ එකිනෙකා වෙත ගොස්, ඔවුන්ගෙන් ලබා ගත් භාන්ඩවල ඉතිරියද​ ශය වී ඇතිවා සඳහා මුදල්ද ලබා දී, හිලව් කරන්න යමක් ඉතිරිව නැති බව සැක නෑර දැන ගත්තේය​ "සියළු ගනු දෙනු පියවා හමාරයි, ඔබ ශ්‍රේෂ්ඨයි!" යන පිළිතුර සෑම තැනින්ම​ ලැබුනි.

"මා දැන් නිදහස්, ණය බරින් නිදහස්, බැඳීම්වලින් නිදහස්" අබූ අල්-ආස් හඬ නගා කීවේ තම නිදහස් බවේ සතුට​ සැමැරීමටයි. ඒ උස් හඬින්ම අබූ අල්-ආස්  "ලාඉලාහ ඉල්ලල්ලාහ්, මුහම්ම්දුර් රසූලුල්ල්ලාහ් ( අල්ලාහ් මිස වෙන දෙවියක් නැත​, මුහම්මද් අල්ලාහ්ගේ වක්තෘය )" යන ස්ලෝකය උච්චාරනය කර ඉස්ලාමය තුලට ඇතුල් විය​​​. 

ඒ ආවේගයයි නැවුම් අපේක්‍ෂණයයි සමඟ වහා මදීනාව කරා ගිය අබූ අල්-ආස් ප්‍රතමව ගියේ තම මාමාද වක්තෘන්ද වූ මුහම්මද් බැහැදැකීමටය​. " ඔබ ඊයේ මා නිදහස් කරා, අල්ලාහ් පිළිගෙන මා අද ඉස්ලාමය තුලට ආවා, ඔබ අල්ලාහ්ගේ වක්තෘන් බවත් මා දැන් පිළිගන්නවා, ඔබ මාව පිළිගන්නවාද? වක්තෘන්ට අබූ අල් ආස් ප්‍රකාශ කර සිට, මගේ සෙzයිනබ්ගේ අයිතිය මට නැවතත් ලබා දෙනවද​? ලෙසත් ඔහු පහත් වූ හිසින් යුතුව අසා සිටියේය​. තෙත් බර දෑසින් යුතු මුහම්මද් ආදරයෙන් ඔහුව වැලඳගත්තේය​. 

"එන්න මා සමඟ" ලෙස අබූ අල්-ආස්ව සෙzයිනබ් වෙත කැඳවා ගිය වක්තෘ මුහම්මද් සෙzයිනබ් වෙත​,"අබූ අල් අල්-ආස් ඉස්ලාමය පිළිගෙන මා වෙත පැමින සිටීයි, ඔහු ඔබව නැවතත් භාර්‍යයාව වශයෙන් ඉල්ලා සිටීයි, නැවතත් ඔබේ ස්වාමියා ලෙස ඔහුව පිළිගන්න ඔබ කැමැතිද​?" මුහම්මද් තම ආදරනීය දෝනියන්දෑගෙන් විචාලේය​. අවුරුදු විස්සකට පෙර කලා සේම ලැජ්ජාන්විත තම මුහුන පහත් කර ගත් සෙzයිනබ් නිහඬ වී සියුම් සිනහවක් පෑවාය​​.

අවුරුදු හයක ඉවසීමෙන් අහිමී වී තිබුනු තම සතුට නැවත ලබා ගත් සෙzයිනබ් අවුරුදු විස්සක ඉවසීමෙන් තම කැමැත්තද ජය ගත්තාය. සෙzයිනබ් අබූ අල්-ආස්ගේ නැවැත එකතුව වැඩිකල් ඇදුනේ නැත, එයින් අවුරුද්දකින් පමන පසු සෙzයිනබ් මිය ගිය අතර​ ඇගේ මතක​යන් සමඟින් දරුවන් බලාගෙන ජීවත් වූ අබූ අල්-ආස් එයිනුත් අවුරුද්දකින් පසු මිය ගියේය​.

 "අල්ලාහ් මත දිවුරන්නම්, මගේ සෙzයිනබ් නැතිව මට මොහොතක්වත් ජීවත් වෙන්න සිතෙන්නේ නෑ" සෙzයිනබ්ගේ අභාවයෙන් පසු අබූ අල්-ආස් කියන්න පුරුදුව සිටියේය​.

සමාප්තයි


            මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.



පසු වදන​,

මෙය අවුරුදු 1400 ක් ඉක්මවා ගිහින් වක්තෘ මුහම්මද්ගේ ජීවිතය හා බැඳී ඔහුගේ ආදරනීය දුවගේ ජීවිතය ආදාලව​ සිදුවූ සත්‍ය කතාවකි. මෙහි මා ඇතුල් කර තිබෙන දෙබස් එදා එලෙසම තිබුනා ලෙස මා කිසිවිටක නොකියන අතර ආදාල කර ගත් සිද්දීන්ද ඒ ඒ ආකාරයෙන්මයි  කියන්නත්​  සහතික නැත, ඒවා මා එකතු කලේ කතාව ඔප මට්ටම් කරන්න පමනය​. නමුත් කතාවේ වස්තු බීජය​ සත්‍ය එකකි.

ස්තූතියි


No comments:

Post a Comment