Sunday, February 5, 2017

සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්!

''විසිතුන් අවුරුද්දක් සිත පාරමින් මිහිදත්ව තිබ, මහන්සියෙන් ගොඩ දමා, අකුරක් පාසා සත්‍ය ආරක්‍ෂාන උත්සාහයෙන්​, පෑරුනු සිතකින් අකුරු වුනු ආදර සිහිවටනය​ක්,​ මෙසේ ඔබ වෙත​දිග ඇරෙන්නේ දැනුනු සතුට සොම්නස තුලට ඔබව ඈඳා ගන්නයි. සිදුවීම් සියල්ල ඒ අයුරින්ම​ ගොනු කරන්න​ උවමනා වූ නිසා, දිග නොසලකමින් ඒ පරිසරය තුලට ඔබවත් කැන්දන් යාවීයි බලාපොරොත්තු වෙමි''

එදා, එක්දහස් නවසිය අනූ හතර වෙනි ක්‍රිස්තු වර්ශයේ මාර්තු මස අට වෙනි දිනයි, අප එදා සිටී පරිසරයට අනූව, එදින​ ''වස්මෝවා මාර්තා'' (මාර්තුවේ අටවෙනිදා)යි. එය ස්ත්‍රීන්ගේ දිනයයි, ස්ත්‍රීන් වර්ණනාවන්ගෙන් නැහැවෙන​, ​ ආවතේව, ඝරු බුහුමන් උපරිමයෙන් ලබන​ ඔවුන්ගේම දිනයයි. එදින​, පුරුෂ පක්‍ෂය විසින් ඥාතීත්ව, මිත්‍රත්වයට​ අනුකූලව, කේජු-කැවිලි, මාල-වලළු, මුදු-කරාඹු, ඩෙනිම්-බොටොම්, රෙද්ද-හැට්ට​, සාය-සෙරෙප්පු, සෙන්ට්- පවුඩර්, පුෂ්ප​-කලඹ වැනි තෑගි බෝගද​, හාදු-මෝදු, වැඳුම්-පිදුම්ද, අරව-මේව, සුභම්-පැතුම්ද වැනි ආදර-සංග්‍රහද​, ලබා දී තම ස්ත්‍රී පාක්‍ෂිකයන්ව සතුටු කරන දිනයයි. ​අනෙක් තැන් කෙසේ වෙතත්, බටහිර යුරෝපය​, එසේමත් නැති නම්, මා එදා සිටී උක්‍රේනයට නම් එය එවන්ම​ දිනයක් විය​.

මා ඉඳ​ සිටී තැන:

ලෝහ​​ තිරයට ආවරණයව සිට​ (පොලිස් කාරයාගේ උප්පරවැට්ටියකින්ද කොහිද)​  සී සී කඩ වූ රුසියාවෙන් මිදී, ප්‍රතිපත්තිමය පෙරළියක්ද සමඟ 1991 පටන් ධනවාදියෙක් කියමින් ස්ව්‍යිරී ගමනක් අරඹා ​මම​ ​වයස 3 කට වඩා නොමේරූ බොලඳ​ අඩි තබන ආගමක්, හමක්, මරණයක්, මතු ජීවිතයක් නැත්නම් මිහිමත සුරපුරයක් වූ ''උක්‍රේනයේ',

දිස්ත්‍රික්ක සතරකින් සමන්විත දනියස්ක් මහදිසාවේ පරිපාලක​ දනියස්ක් දිස්ත්‍රික්කයේ ඇති 'ස්තූදියන්ත්චෙස්කි ගරදොෆ්' (ශිශ්‍යය නගරය)​ ලෙස​ හැඳින්වුනු​ බැලූ බැලූ හැම අතේම දිග ලෝම කබා​, කොට හම් කබා, කන් වසන විශාල ලෝම තොප්පි, බෙල්ල වටා මෆ්ලර්, කලවාවල තදට​ ඇඳී ස්කිනි, දනහිස තෙක් වසන හැඩ දැමූ සපත්තු පැලඳී, ක්‍රීම් පුයර තොල් සායම් සුවඳ තවරාගෙන​, පසුවෙන්නට යන දේශනාව අල්ලගන්ට කඩිසර ගමනින් යන සුකුමැලි ශිශ්‍යාවියන්ගෙන්ද, දිග ඝන කබා කන වසන ඝන තොප්පි, මෆ්ලර්, දනහිස දක්වා පැලඳ ඝන සපත්තු දාගෙන, ''ඉදී..පභීස්ත්‍රේ...මීඃ..ඌzෂේ අප​zස්ධීලීඃ...භිල්‍යාත්'' ලෙස ඉක්මන් කරවන​ මිතුරාගේ ගොරෝසු හඬ නෑසුනාක් මෙන් අතේ තිබුනු 'සිහරේට්'ටයෙන් තව උගුරක් අදිමින්, කම්මැලියෙන් ඇවිදින කඩවසම් ශිශ්‍යයයින්ගෙන්ද, රුසියානු ගෘහ නිර්මාණ ශිල්පය ගැන ලොවට කියන අලංකාර ගොඩනැගිළිවලින් පිරිපුන් ​ සුන්දර 'දනියස්ක්' නුවර,


ප්‍රධාන නගරයේ සිට​ ත්‍රිලේ බසයකින්, අෆ්තෝ බසයකින් හෝ ටැක්සියකින් ලඟා විය හැකි ප්‍රධාන නගරයෙන් තරමක් එපිට ඇති ගමකටත් නගරයටත් නැති තට්ටු නිවාසවලින් සමන්විත 'දපාෂ්' නම් එක්තරා තැනක,

[ නගරයේ තිබුනු අලංකාර බව​, තදබදය​, ගොඩනැගිලි, වාහනවල ශබ්ද​, විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ උසුලු විසුලු සිනා හඬ, කිසිවක් නැති නිස්කලංක පරිසයකුයි එහි තිබුනේ. පොරෝගෙන හිම වස්සන තවමත් සීත ඍතුව පසුකරන එම පෙදෙස​, මහ මෝසමේ සවස් කාලයේ දිස්වෙන අහස් අඳුරක් දවාලේත් පතුරුවාගෙන තිබුනේය​​. වියලන ලද පොල් කුඩු පුළුං හා මිෂ්‍රව​ අතුරා, සුදෝ සුදින් පලාතම ආවරණය කර ඇති දසුනක් හිම වසා ඇති​ දපාෂය දවසේම​ දිස් කලේය. සුළු සඳ එළියක දී පවා විදුලි ආලෝකයක් නොමැතිව රාත්‍රියේ පියමන් කල හැකි පරිසරයක් නිර්මාණය වී තිබුනේ, සුදු හිම මත පතිත වන  සඳ එළිය උපරිමයෙන් පරාවර්තනය වන්න වූ නිසාය.​ දේශගුන විපර්‍යාසයන් නිසා නඩත්තු නොවී අඳුරු දුඹුරු වී තිබුනු මහල් නිවාස​, මුළුමනින්ම කොල හැලී මොටු නොදමා කෙස් නැති තට්ටයන් මෙන් දිස්වුනු ගස් වැල්,
හිමවලින් වැසී තැනින් තැන මතුවට පෙනුනු විදුලි හෝ දුර​කතන නඩත්තු කුටි, කපා හෙලන ලද ගස්වල අඩි අනාතව පෙනුනි ]

නොගිහින් බැරි නිසාම අපහසුවෙන් එළිබැස බෑගයක් උස්සං ඇවිදගෙන යන කබා තොප්පි කාර දේදුෂ්කෙක් (මහල්ලෙක්), නැති නම් ලනුව අතේ අල්ලං බල්ලගේ වේගෙට ඔරොත්තු දෙන්න බැරිව ඌ පසු පස​ ඇදී යන ​කබා තොප්පි කාර බාබුෂ්කියක් (මැහැල්ලියක්), ඉඳල හිටල බෲම් හඬ නගමින් මද වේගයකින් දිව යන ලාඩා, වොල්ගා, මොස්ක්විච් (මෂ්‍ෂීනා(කාර්)) එකක් ඇරෙන්න මුළු වටා පිටාවම නිස්කලංකව තිබුනි.......මේ සවස් කාලයේ පෙනෙන දපාෂයයි, රාත්‍රියට හොල්මනක් දෙකක්වත් යනවා ඇති සමහරවිට නමුත් මධ්‍යම​ රාත්‍රියේ නම් හොල්මන් යන්නෙත් නැතිවෙයි, මොකද එහි පැවැතුනු සීතලයට ​පොරෝගෙන නිදාගන්න එක ඒ තරම් සනීපයි.

​බැනියමක්, ටී ෂර්ට් එකක්, ස්වේටරයක්, බෙලි ආවරණයක්, බොටෝමයක්​, හිම කබායක්, කන් තෙක් වසන​ඝන හිස වැස්මක්, ඝන සපත්තු කුට්ටමක් හා අත් ආවරණ​ නැතිව ඒළි මහනේ අඩියක් වත් තියන්න බැරි තද​ සීත බලෙන්ම​ ශරීරයට රිංගා කටු අනින කාලයක්. මේ ඇඳුම් ඇඳගෙන එළි බහින්න අවමව පැය බාගයක්වත් ඕනෑ වේවි. අපි මාලු, මස් ගත්තනම්, ඒව තියන්නේ අපේ බැල්කනියේයි, එළවලු පළතුරු තිබ්බත් මොකුත් වෙන්නේ නැති පරිසරයක්. මේවා සිතෙනකොටයි තේරෙන්නේ අපි කොයි තරම් වාසනාවන්තයෝද කියා]

​මහල් නවයකින් සමන්විත පිට අවකාශයට සම්භන්ද වන සෑම දොරක් ජනේලයක්ම සීතලයට ඔරොත්තු දීම පිනිස​, පලු හා වීදුරු දෙක ගානේ යොදවා තනවා ඇති බ්ලොක් ගල් කොන්ක්‍රීට් වලින් නිමවා ඇති රජයේ විශ්ව විද්‍යාලයට අනුබද්ධ​​​ එවන් කලු දුඹුරු​ සයවෙනි නේවාසිකාගාරයේ,


[පිට දොරෙන් ඇතුල් වී දෙවෙනි දොරෙන් මතුවන​​ නේවාසිකාගාරයේ ඝර්භය හාත්පසින්ම වෙනස් පරිසරයකුයි මතුකලේ. පිට පරිසරයේ විඳී සීතල එහි නොතිබුනේය​. නල මාර්ගයෙන් ගොඩනැගිල්ල පුරාවටම සපයා තිබුනු කෘත්‍රිම රෂ්න පද්ධතිය​ ශරීරයට සනීපයක් ගෙන​ දුන්නේය​. ෆ්ලෝරසන්ට් එළියෙන් නැහැවී තිබූ බිම් මහලේ සෝෆා සැටිවල ඉඳං මොනව හෝ කර්තව්‍යයක් සඳහා රැඳී සිටින තරුණ තරුණියන්ගේ කෙළිලොල් කතා හඬ පරිසරය පුරා පැතිර තිබුනේය​. විරාමයක් නැතිව ඉහළ පහළ යන එන විදුලි සෝපානයේ දොර ඇරෙන වැසෙන සියුම් හඬයි, එයින් යන එන පිරිසගේ ඉක්මන් අඩි ශබ්දයි පරිසරයට කාර්‍යබහුල බවක් නිර්මාණය කලේය​.

ප්‍රධාන සාලය හරහා නිතර පහේ නාන කාමර වෙත එන යන​ තරුණ තරුණියන්ගේ පියමං හඬ පරිසරයට තවත් තවත් කාර්‍ය බහුල බව එක් කලේය, සේවා කාලයේ දී ලැබූ සුළු විරාමයක් තුල ඕපාදූප කියමින් ''ප්චූස්' ගා කන තෙක් ඉස්සූ අතක් සැරෙන් ව​නා​ සිනාසෙන 'බාබුෂ්කි'ලාගේ කොක් හඬ, ඉඳ හිට කාට හෝ කඩාපනින කමින්දාන් (නිවාස පාලක​)ගේ ගෝරනාඩුව වින්දනයක් ඇති  කලේය​. ඉහළ මහලවල මග්නිතෆෝන් (හයි ෆයි සෙට්) තුල යටි උගුරෙන් කෑ ගසන 'විට්නී හියුස්ටන්' අහසේ පාවෙන 'පෙට් ශොප් බොයිස්' පඩි පෙල දිගේ දුවන 'හැඩවේ' මදිවට 'මෝරේ සීල්නී මරීයියා' කියමින් නටන 'යූරාද' ඒ තිබූ කලබල​ අතරින් අපේ කන්වලට ආයසයකින් කෙඳිරුවෝය...ඒ නේවාසිකාගාරයේ බිම් මහලයි ​]

සෝපානයකින්ද පඩි පෙලකින්ද ඇතුළුවිය හැකි අලංකාරයක් හෝ හරි හැටි විදුලි බුබුළුවක් හෝ නොමැති පාලුවට තිබුනු ප්‍රධාන සාලයට අනුබද්ද වන​ සාලයන් සතරකින්, මුළුතැන්ගෙයි දෙකකින්, පංති කාමරයකින් සමන්විත, සයවෙනි මහලේ,

පදිංචිකයන් සියළු දෙනාගේ සහභාගිත්වයෙන් මේස පුටු සොෆා ආදිය යොදා, වෝල් පේපර් අලවා කාපට් අතුරා, ෆ්ලෝරසෙන්ට් ආලෝකයෙන් නහවා ඇති සාලයේ, ශීතකරණ, මයික්‍රෝවේව්, සපත්තු ඇඟලුම් රාක්ක, පිළිවෙලකට ​තබා, දොර ජනේල් බැල්කනියකින් සමන්විත​, අලංකාරව තබාගෙන ඇති, අංක 1 සිට 4 දක්වා කාමර නිර්මාණය​ වී ඇති සාලයේ,

වෝල් පේපර් අලවා කාපට් අතුරා, රූපවාහිනියක්, අල්මාරියක්, කැබිනෙට්ටුවක්, කැසට් රෙකෝඩරයක්, ගමන් මලු කිහිපයක් තබා ඉඩ අහුරා, යාබද​ සාලයටත් නිගා කරමින්​ විකාරව තිබූ අංක 4 කාමරයේ,

සොෆාවක් හෝ ඇඳක් ලෙස අකුලා දිග ඇරිය හැකි, පෙති කල​ යාබ්ලකා(ඇපල්)ගෙඩි කිහිපයක්, නපීතක්(පළතුරු බීම​​) ස්තකාන්ස්කි(වීදුරු)  20 LM (සිහරේට්- සිගරට් වර්ගයක්)පැකට් එකක්, අලි සයිස් 'ස්පීච්කි(ගිනිපෙට්ටි)යක්, අතුරා තිබූ වීදුරු ටීපෝවක් ඉදිරියේ ඇති සෝෆා සැටියයි​. 

සඳ කුමාරියක් දීගෙක යනවා.......රබන් සුරල් හඬ රැව් දෙනවා.........තුරු ලතා මඩුල්ලේ.............

............................කියමින් ''ප්‍රින්ස් ''පසුබිම සංගීතවත් කරගෙන් සිටියේය​.....................

කෝම්නතා(කාමර) අංක 1 හිටියේ ශිශ්‍යයෙක් බවට​ ව්‍යාජ​ ලියාපදිංචියක් අරගෙන සුලු වෙළඳාමේ නිරතවෙමින් සිටි​, පළමු විවාහයෙන් දික්කසාද වී නේවාසිකාගාරයේ තනි පංගලමේ කල් ගෙවන උක්‍රේන ජාතික 'ඊගර්'ය​. ඉක්මනින් කලබල වෙන, නිතරම සැකෙන් බලන,​ ඉඳ හිට සියුම් ඊර්‍ෂියාද පාන​, බොළඳ බවක් පේන​, වයස 28ක් පමන වූ මොහු පිරිසිදු බාවය​ ගැන බොහෝම ​සැළකිලිමත් වෙයි. ඔහුගේ අසාර්ථක පළමු විවාහයට හේතුවත් ඔහුගේ ඔය ගති ලක්ෂනමද කියලත් සිතෙයි. ප්‍රීවියත්! (හායි) පකා! ( බායි,චෙරියෝ) දෝබ්‍රී ඌත්‍රා! (සුභ උදෑසනක්) ස්පකොනොයි නොත්ච්! (සුභ රාත්‍රියක්) මට්ටමින් තබා ගෙන දුරස්ව සිටියොත්, හොඳින් හිටිය හැකි මුත්, ලංවී ගනු දෙනු කරන මට්ටම ගියොත් තරහ කරගන්න සිදුවෙන, අමුතු චරිතයක්. . සතියට වරක් හෝ නේවාසිකයට​ දේවුෂ්කෙක් (කෙල්ලෙක්) ගෙනන ඊගර්, සුළු රාත්‍රී භෝජන සංග්‍රහයක් කර​ එම​ රාත්‍රියේ ඇයව තබා ගන්නා මොහු පසු දා උදයෙන්ම ඇය පිටත් කර යවයි. මෙය මොහුගේ සාමාන්‍ය සතියේ චර්‍යාවයන්ගෙන් එකක්. එකම ස්ත්‍රීය මොහු නැවතත් එක්කං එනවා මා කිසිදා දැක නැහ​.

''උක්‍රේන ජාතිකයන් විවිදත්වය ප්‍රිය කල බවට මෙය එක්තරා සාදකයක්​, විවාහ බන්ධනය​ තුල සිටිය දීත් විවිදත්වය සොයා දෙන්නා දෙපැත්තේ යෑම මා සිටි උක්‍රේනයේ සාමාන්‍යය දෙයක්''

කාමර අංක 2 සිටියේ යෙමන් ජාතික zසමීර්, මොහු ගැන කියන්න මට වැඩි දෙයක් නැත්තේ, ඔහු සමඟ මා වචන හුවමාරු කර ගත්තේ බොහෝම සීමිත නිසයි. මොහු අනුයුක්ත වී සිටියේ වෛද්‍ය පීඨයටයි. සිකුරාද සවස තම පදෲගා (මිතුරිය​​) 'කාත්‍යා' සම​ඟ මෙහි පැමිනෙන​​ zසමීර්, සඳුදින උදයේම නික්ම යයි.  වෛද්‍ය පීඨයට අයත් නේවාසිකයක කාමරයක් හිමි මොහු, ඉහත කී අංක 2 කාමරය අරගෙන තිබෙන්නේ කාත්‍යා සමඟ නිදහසේ නැවැතුම් ගැනීමට​යි. වෛද්‍ය පීඨයේ හා ඔහුගේ නේවාසිකයේ මොහු බෝධිසත්වයෙක් වෙන්නත් ඇති​, අපි නොදන්නවට​. උක්‍රේන සාමාන්‍යයට අනූව මොහුට සිටියේ පස්තයාන්ස්කයා පදෲගා(ස්තීර මිතුරිය​​)කි. 'ස්තීර' කිව්වට විවාහයෙන් අවසන් වෙනවාම කියන එක නෙමෙයි, තරමක වැඩි කාලයක් එකට සිටීමයි.

කාමර අංක 3 සිටියෙත් යෙමන් ජාතිකයෙක්, ඔහුගේ නම 'සියාඩ්'. සියාඩ් අනුන්ට උදව් කරන හොඳ හිතක් තිබුනු පිස්සු පොරක්. ඔහුගේ කාමරයේ මෙන්ම පොදු සාලයේ තිබුනු බොහෝ දේවල් ඔහුගේ ඒවාම විය​, කිසිම ගානක් නැතිව අපි ඒවා බාවිතා කරන්නේ අපේ ඒවා මෙනි. ගමනක් යනවිට අපි අපේ කාමර වසා යනමුත් ඔහු නොවසයි. බැහැරව​ යනවිටත් ඔහු අපට කියල යන්නේ 'අවශ්‍ය යමක් තිබුනෝතින් අරගන්න' කියලයි. ජීවිතය සැහැල්ලුවට ගෙන ජීවත් වෙන නිහතමානී සියාඩ්, වලියට බර එකෙකි.

බීගත්තු වෙලාවක අහල පහල උක්‍රේනුවන් සමඟ වලියට යයි, මැදට පැන දෙපැත්ත සමදාන කරන්නේ බොහෝ විට මමයි. විහිළුව කියන්නේ, බීගත්තු නිසානේ මූ රන්ඩු උනේ, ඉතිං පසුවදා ආයෙත් බීපංකෝ රන්ඩු කර ගත්තු එවුනුත් එක්ක, කොම්ප්‍රොමෛස් ෂොට් එක​​​. ඕක ෂොටයකින් නවතින්නෑ, හවස් වෙනකං යනවා පාටිය. සමහරවිට, පසුවදා උදයේම පහඃමලීත්සා(හිසේ ඇම්ම නැති කරන්න​, උදේම බොන බෙහෙත් ෂොට් එක​)ෂොටය​ බොන්නත් අපට සිදුවෙනා. බොන්නට රුස්කීන් එක එක නම් හදාගෙනයි තිබුනේ. රුස්කීන්ට නම් වොඩ්කා බොන්න හඃලේබ්(පාන්) පෙත්තකුයි, අගෲස්කි(පිපිංඤා(විනාකිරිවල පදම් කල​)) තිබුනොත් ඇති.

ඉතිං මං මෙතන කියන්න ආවේ, zසියාඩයා රුස්කීන්ට අන්තයි කියන්නයි. ඊගර් වගේ නෙවෙයි මූ, ගූ බර හැදුනාමයි පිට්ටනි හොයන්නේ. මූ බීගත්තාම රෑ දෙගොඩ ජාමේ අපිවත් එක්කං යනවා නේවාසිකය වටේ අඳුරේම. පුදුමයි කියන්නේ, මූ හරියටම​ දන්නවනේ නේවාසිකයේ තිබුනු බවලත් උදවියන්ගේ කාමර​. අහවල් කාමරේ ඉන්න අහවල් එකීගේ නම කියල කතා කරනවනේ හරියටම​. කොහොම නමුත් අවසානයේ මූත් පස්තයානාවක්(ස්තීර)එකක් සමඟ සෙට්ල් වුනා. ඒකෙන් මූගේ කරච්චලෙන් අපිත් නිදහස් උනා..

ඕං ඉතිං කාමර අංක 4, මෙතෙක් කතාවේ හැටියට ඔය කාමරයේ ඉන්න ඕනේ මම නේ හරි නං, ඕං එහෙනං ඔය කාමරේ ඉන්න එක්කෙනා. කාමර අංක 4 හිටියේ අපේ ලංකාවේ සම්මන්තුරේ පැත්තෙන් ඇවිත් හිටිය 'රියාල්' මට වඩා අවුරුදු අටකින් විතර වැඩි රියාල් අහිංසකයෙක්. රියාල් 'අකදේමියා'(ඇකඩමි)වේ මට අවුරුද්දක් ඉදිරියෙන් සිටියේ. කොට මහත​, කකුලේ තිබුනු ගල්තැලුම් නිසා අමාරුවෙන් ඇවිදින රියාල්​, පෙනුමක් ඇති පුද්ගලයෙක් නොවූවේය​. එම කාමරයේ තිබූ සියළු බඩු බාහිරාදිය​ ඔහුගේම ඒවා විය​.

ඔය කෝම්නතය​( කාමරය​) රියාල්ගේ නම්, මම ඔතෙන්ට ආවේ කොහොමද​​? එය විස්තර කරන කොට තව විශේෂ පුද්ගලයෙක් ගැනත් කියන්න වෙනවා. නමින් ඔහු 'ෆේජි'(ඒ තමාට තමාම තියාගත්තු නමක්) වයස අවුරුදු 21 යි. පැමිනියේ අක්කරෙයිපත්තුවේ සිට​. ෆේජීයි මමයි උක්‍රේනයට ආවේ එකටයි​. මෙහේ දී  ෆේජිගේ පියා පුත්තන්ඩියාව බලා ගන්නා ලෙස මට බාර දෙනකොට ෆේජි හිටියේ නිකං හාවෙක් වගේ. ආවායින් පස්සේ නේ වැඩේ තේරුනේ, ඕකා නාහෙට අහන්නේ නැති එකෙක්. 1993 දෙසෙම්බරයේ අකදේමියාවට ලියාපදිංචි වුනු අපි දෙන්නටම​ ලැබූනේ 3 වන එතාෂ්zෂ්(මහල​)යේ එකම​ කාමරයක්. එකේ රටෙන් ගෙනා ඉවුම් පිහුම් වලට උවමනා දේවල් ලැහැස්ති කරගෙන අපි නැවතුනා. මේ ෆේජී එක තැන හිටියේ නෑ, ආපූ දවසේ ඉඳලම මූ එහේ මෙහේ යනවා, බීගෙන ඇවිත් මග්නිතෆෝනය දාගෙන නටනවා. භාෂාව වත් නොදැන රුස්කී කෙල්ලෝ ගේනවා කාමරේට.​ සිංදු අහන්න ජීවිතය විඳින්න මාත් කැමැතියි, ඒත් මූ වගේ...බෑ. ඔතන ඉන්න එක මට වදයක් විය​.

පියා බාර කලාට, මට බැරිවුනා ඕකව මෙල්ල කරන්න.​ කියන දෙයක් අහන එකෙක් නෙමෙයි මූ. ​ ඕකා Zසියාඩ්ට අන්තයි, ඇවිල්ල සතියක් යන්ට මත්තෙන් හැම දේම පටං අරං. වසවර්තියත් එක්ක සතියකට වඩා මට ඉන්න බැරිවුනා. මම කාමරය ඔහුටම දීලා ගියා රියාල්ගේ කාමරේට​. දෙකාන්(පරිපාලක​)ට කියල කාමරයක් ඉල්ල ගන්නකං එහේ නවතින්නම් කියලයි මම හිටියේ. රියාල්ගේ අකැමැත්තක් තිබුනෙත් නෑ. මම රියාල්ගේ බඩු මුට්ටු පාවිච්චි කලා වගේම​ කෑම​ වියදමේ ලොකු හරිය මමම කලා. ඔහුට එය සහනයක් වූ බවත්, එයින් ඔහු සතුටු වූ බවත් මට තේරුම් ගියා. එහෙයින්, මටම කියා කාමරයක් ඉල්ලා ගැනීමේ උවමනාවත් නැතිව ගිහින් වරදකාරී හැඟීමෙන් තොර දිගටම එහේ නවතින්නත් ​මට පුළුවන් වුනා. අනික අපි දෙන්නට අනෙක් උවමනාවනුත් නොතිබුනු නිසා තනි කාමර ඕන උනෙත් නෑ.

මම ​?

මම උක්‍රේනයට​  ව්‍යාපාර කලමනාකරණය ගැන පාඨමාලාවක් කරන්න ආවාය කිව්වොත් ඔහේල මට හිනා වෙයිද මන්දා. එහෙමයි අපි ඒ දවස්වල​ කියා ගත්තේ, මා මෙහි පැමින සිටියේ එලඹෙන ගිම්හානයේ විසාවක් අරගෙන එන්ගලන්තයට පැන ගන්නයි. ඒ දිනවල ​බොහෝ දෙනෙක් උක්‍රේනයට පැමිනියේ ඔය කාරණේටයි. මා සමඟ ඔය ෆේජි පැමින සිටියෙත් ඔය අදහසින්මයි. එනිසාමත් අනවශ්‍ය කරදර වලින් හැකිතාක් ඈත්වී සිටීමට මා වගබලාගෙන සිටියා. සාදයක දී ටිකක් තොල ගෑවත්, සල්ලාලයකු වගේ බිව්වේ නෑ, වගේම අනිත් කිසි දේකටත් මම ගියේ නෑ. කාගෙත් පිළිගැනීමට අනූව එහේ මා තැන්පත් චරිතයක්. ඒ නිසාම පොදුවේ කවුරුත් මට ප්‍රියයි. මෙහි දී කවුරුත් පිළිගත්තේ නැතත්, මේ කියන ඒ මොහොත වන තුරුත්, වයස 23 පසුවුනු​ මා, රටේ දී හෝ මාස 3ක උක්‍රේන ජීවිතයේ දී තවමත් නෑ, මම නොඉඳුල්.

වේලාව​: උක්‍රේන වෙලාව සවස 8.30

නියැලී සිටියේ:


ඉහත​ විස්තර කල ඊගර් වෙත පැමින සිටී උක්‍රයීන දේවුෂ්කා(කෙල්ල)ගේ පධෲගා(මිතුරිය)ක් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිළියෙල කරමිනුයි. දේවුෂ්කි(තරුණි)යන් දෙදෙනාම වයස අවුරුදු 18 කට වඩා නැති උනාට උස මහතින් අම්මන්ඩිලා. එයින් ඔහුගේ මිතුරිය ලෙස මා හැඳින්වූ තරුණිය පැමින සිටියේ ඊගර් වෙනුවෙනුයි. එහෙම වුනා නම් අනිත් කෙල්ල​? ඇය කොහේ නවතීවිද​? 'ඇය කරදරේක වැටේවියි නේද​?' ලෙස හැදී වඩුනු පරිසරය නිසා අපට සිතුනත්, එහෙම දෙයක් වෙන්නේ නැහ​. තමාට ලැබුනු සුළු කාල පාරාසය තුල එයට පිළියමක් සොයා ගන්න ඇය සමත් වෙයි. කවුරු හෝ කෙනෙක් අනිර්වාර්‍යයෙන් ඇය වෙනුවෙන් ඉදිරියට එනු ඇත​​.

මොවුන් ඔවුන්ද එහෙනං? ලෙස අපට සිතුනත්, ඒ ලෝ ප්‍රකට වචනය එහෙත්, ඒ භාෂාවට​ බරව ඒ අයුරින්ම පරිහරණය වුනත්, මා එදා දුටු උක්‍රයීන ජන ජීවිතයට අනූව එහෙම මුද්‍රාවක් නෑ. අප සංස්කෘතිය මෙන් විවාහයකින් පසුම සිදු විය​ යුතුයි ලෙස තරයේ ඇති සමහර කරුණු, වයස 16 පසුවෙනවාත් සමඟම උක්‍රේන​ තරුණ තරුණියෝ නිදැල්ලේ කරති. දෙමාපියන්ගෙන් හෝ පවතින රජයෙන් බලවත් තහංචියක් ඕවාට​ තිබෙන බවක් දැනෙන්නට නොතිබුනි. 16 වඩා අඩු වයසේ ගෑණු ළමයෙක් රාත්‍රියේ තබා ගැනීම එරටේ නීතියට අනූව වරදක් බව නම් දැනගත්තා.

එනිසා, ඔවුන් අති සාමාන්‍ය දේවුෂ්කි(තරුණි)යන්‍ය​. කාලයක් ඒ පරිසරය තුල ජීවත් වුනු නිසාදෝ ඔවුන් දිහා පිළිකුලෙන් අපට නොබැලුනි. ඔවුන් ගෝස්ති(ආගන්තුක) ගෙන්වා ගන්න පුද්ගලයාට ඔවුන් වෙනුවෙන් උපරිමයෙන් වියදම් කරන්න සිදුවුනේ, එදින රාත්‍රී භෝජනයට අමතරව​ ෂැම්පේන් හෝ වොඩ්කා සමඟ සිගරට් කිහිපයක් පමනි. එදා උක්‍රේනයේ සරල ජීවිතයට අනූව​ වොඩ්කා බෝතලයක් අපේ මුදලින් රු 200 කට වඩා තිබුනද කියලා මතකේ නෑ. ෂැම්පේන් තරමක් මිළ බව නම් මතකයි. තරුණියන් පමනක් නොවෙයි, පුරුෂයෙක් හිමි zෂෙන්‍ෂිනි(විවාහක) ස්ත්‍රීන්ද මෙවෙනි අවස්තාවන්ට සහභාගී වෙනවා අනන්තයි. වානිජයක්, වෙළඳාමක් බඳුව මා දුටුවා මිස ආදරයක් සෙනෙහසක් මට නොපෙනුනි. ඔවුන් මට අගයෙන් නොපෙනුනෝය​​.

[ හැමදේම උක්‍රේන කියල මා හැඳින්වුවාට, අවුරුදු 23 කට පෙර මා එහි සිටි ඒ කාලයේ උක්‍රාන්ස්කි(උක්‍රේනුවන්) පවා තමන්ව හඳුන්වා ගත්තේ රුස්කි(රුසියානුවන්) ලෙසයි. ඒ රුසියාවෙන් වෙන් වූ අලුත නිසාම විය යුතුයි. පෙර දී ඔවුන් රුසියානුවන් නේ]



ඉතින්, අහම්බෙන් ලැබුනු අවස්තාව ප්‍රයෝජනය ගන්න මා යුහුසුළුවෙන් සප්පායම් වෙමින් සිටියෙමි. උක්‍රේන කාන්තාවන් සාමාන්‍යයෙන්ම පියකරු (සුදු පියකරුයි කියල​ එදා මා  හිතන් හිටියා)නිසාම, අහම්බෙන් ලැබුනු එකක් වුනන් කෙනෙකුට​ ප්‍රශ්නයක් (පළපුරුද්දක් නැති එක, මා නොදැන හිටියට​) නොවීය.​ "අහම්බෙන් ලැබුනු'' බවක් මා සඳහන් කලේ, ඒකටත් තරමක වෙහෙසක් දැරිය යුතුව තිබුනු නිසයි. සවස් භාගයේ           නා -ඌලිත්සේ(පාර​ තොටේ), පාර්ක්(උද්‍යාන)යේ ඇවිදමින්, පීවා(බීර​) බොමින් (හරියට මාළු දැල් විසිකරනවා වගේයි) අවස්තාව බලං ඉඳලා හරි එක්කෙනා හැඳිනගෙන ගෙන කතා බහ කර, නේවාසිකාගාරයට ගෝස්ති(ආගන්තුක)යන් කැන්දං ඒම තරමක වෙහෙසකාරි වැඩක්. ඔවුන්ට කතා කරන්න​, ඔවුන්ව පිලිසඳරකට හෝ රාත්‍රී භෝජනයක ඇරයුම් කිරීම සාමාන්‍ය දෙයක්ව තිබුනි. ගෝස්ති ඇරයුම් කරන්නාට කිපීම බැනවැදීම වැනි කිසි දෙයක් ඔවුන් නොකරයි, සාදරයෙන් පිළිගැනීමට නොහැකි නම්, ඔවුන් එය සාමාන්‍යයව ​ප්‍රතික්‍ෂේප කරයි. නැති නම් වෙනත් දිනයක් ලබා දෙයි.

[රුසියානුවන් බීර බොන්නෙ හරියට අපි වතුර බොනව වගෙයි, පේමන්ට්වල​, උද්‍යානවල​, රීනක්(පොල​)වල​, කියොස්ක්(පෙට්ටි කඩ​)වල​, අරහේ මෙහේ හැමතැනම​ ඕවා තියෙනවා, මෙහේ වට්ටි අම්මලා ඉඳගෙන බුලත් විකුන්නන්නේ, අන්න ඒවගේ බාබුෂ්කා(මැහැල්ලී)ලා තැන තැන ඉඳගෙන​ එහේ පීවා(බීර​) විකුනනවා. ඉස්සර අපේ සමූපකාරවල බැරල්වලින් කරාමේ ඇරල ලාම්පු තෙල් දෙන්නේ මතකද​? එහේ සමූපකාරවල ඒ දවස්වල පීවා වික්කෙත් ඒ වගේයි. ප්ලාස්ටික් භාවිතයක් නොතිබුනු එහේ, අපි පීවා අරගෙන එන්නේ ලීටර් පහක විතර විශාල වීදුරු බොතල් වලයි, අපි එල කිරි අරගෙන එන්නෙත් ඔය වගේ විශාල​ බෝතල් වලයි

මා එහේ දී දුටු විශේෂ ලක්‍ෂනයක් තමයි ශාක්‍ෂරතාවය,​ ඔවුන්ගේ ශාක්‍ෂරතා අගය ඉතා ඉහළ බවක් මට පෙනුනි. ලියන්න කියවන්න බැරි කිසි කෙනෙක් මා එහි  දුටුවේම නෑ. වයස 80ක විතර බාබුෂ්කියක් දේදුෂ්කෙක් වුනත් ඉතාමත් හොඳින් ලිවීම කියවීම කරයි. ගනු දෙනුවල දී ඔවුන් ගනන් හදන්න පාවිච්චි කලේ ''ඇබකස්'' ලෑල්ලයි. බලන්න එපෑය අවුරුදු 90ක විතර ආච්චි කෙනෙක් 'ටික්, ටික්' ගාල ඇබකස් එකෙන් ගනන් හදන ලස්සන​]

අනෙක් ගැටලුව තමයි ඔවුන් සමූහයෙන් මුදවාගෙන ඒම​. තරුණියන් තිදෙනෙක් සිටියා නම්, ඒ තිදෙනාවම ගෝස්ති ගෙනියන්න​ ආදාල පුද්ගලයාට සිදුවෙයි. එම නිසාම අපේ කට්ටිය​ ඇවිදීමට යන්නෙත් කිහිප දෙනෙක් එකතුවයි. ශරීර වර්ණ, අයත් වන ආගම, කිසිත් ඔවුන් ගනන් නොගත්තෝය​. ආසන්න වනතුරුම කොමියුන්ට් වාදයේම රැඳී සිටි නිසාදෝ පොතේ පතේ උගත් දේ මිස ආගම්වල තිබුනු හරයන් ඔවුන් නොදැන සිටියෝය​. සත්‍යම කියනව නම් ඒ දිනවල උක්‍රේන​ තරුණියන් zෂිමිලියාකී(සුජාතික)යින්ට වඩා ඉනස්ත්‍රානී(විජාතික)යින් සමඟ ඇයි හොඳයි කම් පවත්වන්න කැමැත්තක් දැක්වූහ​. සහවන්තයා මැදිවියේ හෝ මහළු වියේ වීම ගැන ඔවුන් තැකීම් නොකහ​​​. හැඩි දැඩි කඩවසම් තරුණයින් තමන්ගේම​ සිටියදීත් ඔවුන් පිටස්තරයන් සොයා ගියේ එතෙන වඩා සතුටක් තමන්ට තිබේවියි ඔවුන් සිතූ නිසයි. තමන්ගේ උදවියට වඩා විජාතිකයින් ගාව සල්ලි බාගේ ගැවසෙන බව මතයක් එදා සිටි උක්‍රයීන කාන්තාවන්ට තිබුනා. එදා තිබුනු සැබෑ තත්වය ඒකම​ වුනත්, මා එහි රැඳී සිටි 1994 වර්‍ෂය අවසන් වෙන්නට පෙරාතුවම ඒ තත්වය වෙනස්වීගෙන යන බවක් මට හොඳාකාරව දැනුනා.

[හැඩි දැඩි කියනකොටයි මතකෙට ආවේ, ඔවුන්ගේ හිටියා ''ෂහ්තියෝර්'' කියල හඳුන්වන පිරිසක්, ඌගල්( ගල් අඟුරු පතල්)වල සේවය කරන මොවුන් යෝදයෝ වගේයි. දේහ සම්පන්න වගේම මොවුන් හරිම​ ශක්තිවන්තයි. අපට අත දුන්නොත්, ඒක නිකං අපි කුඩා ළමයෙකුට අත දෙන්නේ, අන්න ඒ වගේයි දැනෙන්නේ. පොදුවේම ඔවුන්ට රළු කට හඬකුයි තිබෙනේ, මදිවට උගුරෙන් උච්චාරණය වන ඔවුන්ගේ භාෂාව එයට තව තවත් රළු බවක් එකතු කරනවා. ඒ වුනාට හැසිරීමෙන් ඔවුන් මෘදුයි, මිත්‍රශීලියි, අපි කියන ඕනෑම බොරුවක් ඔවුන් පිළිගන්නවා. ස්ත්‍රී ආධිපත්‍යයක් මට ඉව වැටුනා, එහේ පිරිමීන් කොතරම් හැඩි දැඩිව පෙනුනත්, තමන්ගේ ස්ත්‍රීන් ඉදිරියේ පූසෝ වගෙයි හිටියේ. ආයතනවල පාලන තනතුරු බොහෝ තැන්වල​ ඉසුලුවේ ස්ත්‍රීන්]

නොකීවාට මොකද​, මිතුරන්ගේ පෙරැත්තය නිසා මං ඉදිරිපත් වුනා මිසක්, ඔය කියන​ කාරණය මගේ කැමැත්තම නොවෙයි​. රියාල් ඕවා පස්සෙන් යන්නේ නැති එකා උනත් ඔහුත් මට ඇවිත් කිව්වේ, උක්‍රේනයට ආවා නම් ඕවායේ අත්දැකීම් තිබෙන්න ඕනෑය කියලයි,​ කාමරය මටම දීලා නිදාගන්න​ වෙන කාමරයකට යන බවත් කිව්වා. zසියාඩ් ගැන කියන්නත් ඕන නෑ, ඌ ඕවට මාස්ටර්. ඌ ඕවා ගැන මට​ ලෙක්චර් දෙන්න පටං ගත්තා. ඊගර් නම් ආවේ ආදරේට නෙවෙයි, නැත්නම්  නම් මිනිහගේ වැඩේ සුංනේ, ඒකයි. එකෙක් නරක් කරන්න මුංගේ තිබුන උවමනාව යකෝ.​ පව් කාරයෝ!... කොච්චර නැහැයි කිව්වත් ඉතිං, කුතුහලයක් තියේවිනේ...එයින් මෙයින් මම හා වුනා..

ගෝස්ති පැමිනි දේවුෂ්කි(කෙල්ලෝ) දෙන්නම බිම් මහලට නාන්න ගිය නිසා, ඔවුන් එනකං මම කාමරයට වෙලා හිටියා, ඒ අතරෙයි තේ එකක් හදන්නයි කියා රියාල් කුස්සියට ගියේ....කුස්සියට ගිය රියාල් හනි හනිකට දුවගෙන ඇවිත්....

උන්මන්! උන්මන්!  (ඇයි බැලුවේ (මගේ නම කෙටියෙන් අඬගහන්නැති)ගනන් ගන්න එපා, ඕවා ඔහොම තමා) කියමින්....දුම දාන චායිනී(කේතලේ) අතේ තියාගෙන ''අන්න අරයා ඇවිත් ඔයාව හොයනවා!'' කියා බෙරිහන් දුන්නේය​​, ඔහු ඕක කිව්වේ මට ලොතරැයියක් ඇදිලයි, කියන ගානටයි, ඇස් උඩ ගිහිනුයි තිබුනේ...

කවුද​? ...කවුරුන් කිව්වා? ලෙස මම කුතුහලයෙන් ඇසුවේ රියාල්ගේ කලබලය නිසයි.

ඔයාගේ පන්තියේ ඉන්න zසෝයා​ "කිත්තායි((ඛිතායි- චීන​) කියන වචනය රියාල් උච්චාරණය කල සැටියි) ඇවිල්ලා! රියාල් කියාගෙන ගියේ හති අරිමිනි.

ඉතිං? ප්‍රශ්නාන්තරව ඔහු දෙස බැලුවේ මට මොකුත් තේරුම් නොගිය නිසයි. ​

'zසෝයා ඇවිත් ඉන්නේ ඔයාව හොයාගෙනයි' රියාල් ආයෙමත් කීවේ ටිකක් සැරෙනුයි, තරහක් ගිහිල්ලයි​ තිබුනේ.

හහ්...කියවිනි, මොකක්ද යකෝ මේ වෙන්නේ​? මගේ ලග්නය අද කන්‍යාව වත්ද​? මහිසේ මල් පිපින, මයිල් ඉස්මයිල් විය​, කැරකවිල්ල හැදින. එක කෙල්ලෙක් රාත්‍රිය ගෙවන්න බලං ඉන්නවා, තව එකක්(ඊගරයගේ) එක, ඕකා වෙනුවෙන් ආවයි කිව්වට මොකෝ, ඕකිත් මේ අස්සෙමයි රිංගන්න කැමැති) සැරෙන් සැරේ ඇවිත් යනවා. යනවා කිව්වට මොකෝ, අරූ ඇවිල්ලා එක්කං යනවා. ඇවිස්සිල්ලක් තිබුනත් ඊගර් පෙන්න ගත්තේ නෑ. මං මොනව කරන්නද... ඉතිං අඬ ගැහුවයැ...

මට ප්‍රෙහිළිකාවක් විය​. ඇය මොකටද මාව හොයං එන්නේ, සත්තකින්ම මා මෙහි ඇය බලාපොරොත්තු වුනේ නෑ, එහෙම උවමනාවක් මට තිබුනෙත් නෑ. ඇය මගේ පද්ෆාක්(පහත චේදයේ හඳුන්වන රුzස්කි පදය කෙටියෙන්) පංතියේ....එච්චරයි

zසෝයා ???

zසෝයා චීන කෙල්ලක් ''වංග්ත්සුඕඕ'' කියන ඇගේ චීන නම වෙනුවට zසෝයා කියන රුසියානු නමිනුයි ​අප ඇයව හඳුනන්නේ. පද්ගතවීල්නම් ෆකුල්තියත්(පෙරසූදානම් කිරීමේ පීඨය​)හි අප සමඟ එකම පංතියේ ඉගෙනුම ලබන​, zසෝයා මාස හයකට පමන පෙර අකදේමියාවට බැඳුනු දේවුෂ්කා(තරුණි)යක්. තරුණියක් කිව්වට, තවමත් 17 ඉක්ම නොවූ කෙලිලොල් වියේ කෙල්ලෙක්, 17 පිරෙන්නෙත් එලෙඹෙන මැයි 12 වෙනි දිනටයි. සාමාන්‍ය චීන යුවතියන්ට වඩා ශරීර ලක්‍ෂනයින් තරමක් විශාල නමුත් වසීකර සිනහමුසු මුහුනක් ඇති zසෝයා, දඟකාර​ කෙල්ලක්.

සාමාන්‍ය චීන යුවතින් මෙන්ම පලල් මුහුනකින්, පිරිපුන් ශරීරයකින් ඔපවී සිටි ඇය​ රුසියානුවන් තරමටම සුදුවට සිටියාය. සුඛෝමල කමින් පිරී සිටියත් බියක් කියන දෙයක් ඈට ගෑවිලා වත් තිබුනේ නෑ. තමන්ට සිතුනු දේ කරන්න ඇය කිසිවිටෙක පසුබට වුනේ නෑ. අපේ පංතියේ සිටි අනෙක් චීන මලදීය​(තරුණයින්) පවා ඈට කතා කරන්න බිය වූවෝය​. අපේ පංතියේ ගුරුතුමී 'තාන්‍යා' පවා සෞම්‍ය වචනයකින් මිස හඬ ඉස්මතු වූ වචනවලින් ඈට කතා නොකරයි​. එකට එක කතා කරන අවස්තා ඇති වූ විට ඇය සමඟ තර්කෙට ගියේ මායි ෆේජීයි පමනයි. එවැනි අවස්තාවල දී ෆේජිට මුහුනටම කඩා පනින zසෝයා මට එහෙම නොකලාය​. දඟකාරව හැසිරමින් පංතියේ සියළු දෙනාගේ සැලකිල්ල තමන් වෙත රඳවා ගන්න zසෝයා සැම විටම සමත් වූවාය​. zසෝයා, පංතියේ අනෙක් සියල්ල අභිබවා ගිය දක්‍ෂ ශිශ්‍යාවක්ව සිටී අතර වයසට වඩා මුහුකුරා ගිය ස්වභා ලක්‍ෂන නිරන්තරයෙන්ම​​ ප්‍රදර්‍ෂනය කලාය​.​.

[තාන්‍යා! තාන්‍යා වයස 23 ක මගේම වයසේ වූ අපේ භාෂා ගුරුතුමියයි. සාමාන්‍ය රූ සපුවක් තිබූ ඇය නියම ස්ත්‍රී ලක්‍ෂන හෙබී කාන්තාවක් වූ අතර අහිංසකාවියක් වූවාය​. අපේ පංති පටං ගත්තු අලුත​ තාන්‍යා ඉතා උනන්දුවෙන්, සතුටින් පංතියේ විෂයන් මෙහෙයැව්වා. ඒ, මා ෆේජී සහ තේජී(අප්‍රිකානු ශිශ්‍යයෙක්) තුන් දෙනා පමනක් පංතියේ සිටි කාලයේයි. අපි මෙන්ම භාෂාව ඉගෙන ගන්න පැමින සිටි ඇමැරිකානු ශිශ්‍යෙයෙක් සමඟ හාදයක් ඇති වූ බවත්, ඔහු සමුගෙන ආපසු ගිය නිසා තමාට වේදනාවක් ඇති වූ බවත්, එයින් පසු කා සමඟ හෝ තමා හාදයක් ඇති නොකර ගත් බවත් තාන්‍යා අපට කියා තිබුනාය​​.​ 

තාන්‍යා​ මා වෙත​ විශේෂ සැලකිල්ලක් දැක්වූ අතර ඇය පංති නායකයා කර ගත්තෙත් මාවයි 'මා අනික් දෙදෙනාට වඩා විෂයන් වලදී කැපී පෙනුනු නිසයි' ඒ, එදා තිබුනු මගේ දැනුමයි. මාස තුනකින් zසෝයා ඇතුළු චීන ශිශ්‍යයන්ගේ ආවඩනයින් පසු තාන්‍යාගේ පෙර තිබූ ජයිවය පිරිහී තිබුනි. zසෝයාද පැමිනියේ ඒ සමූහයේමයි. සම වයසේ වුනත්, මට අකුරු කියා දුන් ගුරු තුමිය නිසාම, තාන්‍යා වෙත නිරන්තර​ ​ඝෞරවයක් මගේ තිබිනි. ඇගේ සිත කියවන්න තරම් දැනීමක් ඒ දිනවල මට නොබූ බව නම් සැබෑව]

පංතියේ විෂය යන අතර තුර zසෝයා මා වෙත විනොදාකාර ප්‍රශ්න යොමු කලාය. වරක් කඩේකින් මිලට ගෙන​​ මගේ අතේ පටලවාගෙන තිබූ මුද්දක් අත ගා බලමින් 'ඔබ බැඳලද​? කියා ඇසුවාය​. මට ළමයි දෙදෙනෙකුත් සිටින​ බව කියමින් විහිළුවෙන් ඇයට පිළිතුරු දුනිමි. තවත් වරක, විවේක ගමනක් පිළිබඳ​ විෂයක දී, 'කවුරුන් කා සමඟද විවේක ගන්න වඩාත් කැමැතියි' යන ප්‍රශ්නය අපි එකිනෙකාගෙන් යොමු කර​ ගන්නා මොහොතක​, ඇය ඉතා උවමනාවෙන් මගෙන් ඇසුවේ 'ඔබ වඩාත්ම කැමැති කා සමඟ විවේක ගන්නද​? කියලයි. සහතිකවම, ඔබ සමඟ විවේක ගන්නයි මා වඩාත් කැමැතියි' ලෙස විෂයට අදාලව පිළිතුරු දුන්නේ, ඒකේ බරපතල කම නොදැනීමයි. අදහසකින් තොර​ මගෙන් පිට වූ ඒ වචන නිසා ඇති වූ ලැජ්ජාවෙන් මා හිස පහත් කර ගන්න වූ නමුත්, ඒ වචන ඇයට තව පුරුකක් වුනු බව පසුවයි තේරුනේ.

නොදකින්, ඒ බවත් මට මට නෙවෙයි තේරුනේ, එය පෙන්නල දුන්නේ තාන්‍යා විසිනි ''මලදියත්ස් උන්මන්, ස්මත්‍රී ඉයෝ ලිත්සෝ, ස්මත්‍රී ඉයෝ ග්ලzසා, කක් අනා ප්‍රියත්නා( අපූරුයි උන්මන්, ඇගේ මුහුන බලන්න​, ඇගේ ඇස් දිහා බලන්න​, ඇය කොතරම් සතුටින්ද) ඒ zසෝයාගේ ඇස්වල තිබූ සතුට තාන්‍යා මට පෙන්නල දුන්නු ආකාරයයි. මගේ ඒ පිළිතුරේ ජීවයක් නොතිබුනත්, ඒවා ඇගේ සිතේ ගැඹුරටම පැලපදියම් වුනු බව මට පසුවයි තේරුනේ.. අපි අතර හුවමාරුවුනු වචන​, සංවාද වැනි දේවල් එකින් එක ගෙතිලා, ඒවා ඇයට මා ගැන අභිප්‍රායක් ඇති කරලයි තිබුනේ.

ඇය නිතරම වගේ මගේ ඇස් දෙක වර්ණනා කරන්නත් පුරුදුව සිටියා, දුඹුරුවට තිබුනු මගේ ඇස් ලස්සනයි කියන එක ඇය කියලයි මං දැන ගත්තේ. මට මතකයි තාන්‍යාත් ඒ බවක් කියනවා, වරක් ඇගේ මිතුරී ඉරීනා(වරක් හෝ දෙකක් අපට උගන්නලා තියෙන)ත් වර්ණනා කලා. මට මදෑ ඕක, ඉතිං තරමක අහංකාර කමකුත් ඇතිවුනා​. ''යකෝ, කොල්ලෙක් කෙල්ලෙක්ව වර්ණනා කරන එකයි සාමාන්‍ය​, උඹ මොන -ත්තක්ද​(සමාවෙන්න​ අපේ සාමාන්‍ය ව්‍යවහාර භාෂාව ටිකක් පාවිච්චි උනා)​ එහෙනං කලේ, බොරුවට හරි ආපහු මොකුත් නොකියා?'' කියල සමහරුන් අහන එක මට තේරෙනෙවා. බොරුවක් ඕනේ නෑ, ඇය සැබෑටම ලස්සනයි, ට ඇය ගැන අදහසක් ඇතිවෙලා තිබුන් නැති එකයි කාරණේ.

මට එහෙම අදහසක් නොඑන්න වූ කාරණා තිබුනා, ප්‍රතම කාරනාව වුනේ, පිඹුරුපතේ මගේ ගමනාන්තයව තිබුනේ උක්‍රේනය හෝ ඛිතායි(චීනය)නොව, එංගලන්තයයි. තව මාස දෙකකින් එළඹෙන ගිම්හානයේ අංග්ලීස්කි(එංගලන්ත) වීzසා වක් ලබා ගන්න නම්, මම​ ගෙම්බෙක්(උක්‍රේනය හරහා යුරෝපයට පැනගන්න පැමිනෙන අයව ඒ දිනවල හැඳින්වූවේ) නොව, ශිශ්‍යයෙක් බවට තහවුරු කරන්නයි. ඒකට​ හොඳට රුzස්කි(රුසියානු) ඉගෙන ගන්න මට​ උවමනා වෙලා තිබුනා. ඒ නිසා අපේ දෙකාන්(පීඨාදිපති)ගේ උපදෙස්(උපදේසය දුන්නේ අපිත් එක්ක එකට ඉඳන් බොන වෙලාවේ)අනූව, ඉක්මනට රුසියානු ඉගෙන ගන්න නම්, රුසියානු කෙල්ලෙක් යාළු කරගන්නා ලෙසයි. ප්‍රධානතම කාරණාව, ඉතාම සංවේදී මා මොනව හරි රෙද්දක පැටලූනා නම්, ගලවනකොට ඉරෙන්නේ රෙද්ද නෙවෙයි මගේ පපු කැත්තම​, බව මා හොඳින් දැන සිටියා. එහෙයින්, මා ඉතාමත් කල්පානාවෙන් තීන්දු තීරණ​ ගත්තා.

අපේ රුzස්කි යෙzසික්( රුසියානු භාෂා)ව පංති කාමරය තිබුනේ අපේ නේවාසිකයේමයි. සුළු විරාමයක දී පවා අපේ සාලයට දුවං යන පුරුද්දක් මට තිබුනා. එයින් කෝප්පි කෝප්පයක් බීලා සිගරට් එකක් දල්වා ගන්න මට අවස්තාව සැලසෙනවා. සිකුරාදා පංති ඉවරවුනු ගමන්ම අපි ලාංකිකයෝ තුන්දෙනාම නගරයේ ඇති අපේ රටේ යාලුවන්ගේ නේවාසිකයට යනවා, අපි ආයේ අපේ නේවාසිකයට එන්නේ ඉරිදා රාත්‍රියේයි. එයින්, zසෝයා මුන ගැහීමේ හෝ ඇය ගැන දැන ගැනීමේ අවස්තා මට​ ඉතා සීමිත වුනා.

zසෝයා ගැන මම සොයා නොබැලුවාට, ඇය ගැන සොයා බැලූ තොරතුරු එක්තැන් කෙරූ කෙනෙක් අපේ හිටියා, ඒ තමයි ෆේජී.

ඇත්තටම zසෝයා ගැන නෙමෙයි, මට පොඩි පහේ ආසාවක් ඇති වී තිබුනේ, අපේ පංතියේම zසෝයාගේ යාළුවෙක් වූ ''යංඞ්නී'' වෙතයි මට ඇල්මක් තිබුනේ. පොඩි හුරුබුහුටිව බෝනික්කියෙක් වාගේ හිටී ඇය හොඳයි කියල හිතුනා විතරයි. ඇයට වචන යොමු කරන්න, ඇරයුම් කරන්න​, හීන මවන්න කිසි දෙයක් මම මම කලේ නෑ. මා මෙතන කියන්න එන්නේ යංඞ්නී වෙත මට ඇති වී තිබුනු ආසාව පවා zසෝයා වෙත ඇති නොවීම ගැනයි.

සැරයක්, මට හිත ගිය මාලිගාව (යංඞ්නී) ගැන නිකමට යාළුවන්ට කියන්න ගියා ''අම්මෝ, උන්මන්! උඹට යහතින් ගෙදර යන්නෝන්නැද්ද​? රෝත්තම එයි උඹව කම්බස් කරන්න​'' එකිනෙකා මාව බය කරන්න වුනා​ ''ඔන්න ඔව්ව අත් ඇරලා රුස්කියක් දාගනින්''යාළුවෝ උපදෙස් දුන්නා​. එක පාරටම මට අපේ පංතියේ ''සාශා, zසව්දුංග්, ඌචැන්ව" ලාව මතක් වුනා​, අහිංසකයෝ වගේ ඔහොම හිටියට ''චීන අඩි කරාටේ කුංෆූ වලින් මට නෙලාවිද​''​ කියල හිතුනි. රුසියානුවොත් ඒ දවස්වල බයයි චින්නුන්ට​. ඇයි, ජැකී චෑන්, ජෙට්ලීලගේ පිචර් බලනවනේ.....

ඉතිං කරුණු කාරණා තේරුනානේ......

මට කල්පනා කරන්න වෙලාවක් ඉතිරි නොවීය​, මිටි රියාල්ගේ පසු පසින් යෝදියෙක් වගේ මතුවුනු  zසෝයා කලු ස්කිනියකින් හා තැඹිලි පාට ටොප් එකකි....න්..'ම්ම්ම්....න්නෑ....නේද​?​ තිබුනා නේ! තියෙන​ විත්තිය මං දන්නවා, පංතියේ දැකල තියෙනව​' ලෙස, වනචර හිත ඇගේ මොකක්දෝ සොයන්න වී, තරමක් පහතව පෙනුනු යමක්, මගේ සැකය දුරු කලේය. ඇය සවස් වරුවේ සුව පහසු ඇඳුමකමට මාරු වී සිටියාය​. 

සඳ රේනු වෑහෙනා..........මේ සීත රාත්‍රියේ.........ඔබ ඉන්න...මාගේ... ළඟින්..... හද පිරුනු වේදනා.... පිසදා සිනා සලා..... මට දෙන්න ආදරේ...ඔබගේ හදින්.....

......................මග්නිතෆෝනයේ සිටි ''ප්‍රින්ස් ''එවර මෙහෙමත් කියන්න විය...............

ඒ දොරකඩම නැවැතී, ඇගේ සුපුරුදු සිනහව පාමින් මට,

ඝර්වාන්විතව​ 'ප්‍රීවියත්(හායි)' කීවාය.​ 

'ප්‍රීවියත්' සමඟ සිනහවක් උපදවන්න උත්සාහ කල මුත්, එය​ මතු නොවුනේ මා තවමත් කම්පනය තුල​ නිසයි.

සැරෙන් ''ච්තෝ(ඇයි)?වෙනසක් නොවී ඝර්වය එතනත් තිබිනි.

නියත්,,,නිච්චිවෝ(නෑ,,, මුකුත් නෑ) zසහදී(එන්න ඇතුලට​) මාව සමබර කරගෙන ඇයව ගෙට​ ඇරයුම් කලෙමි.

මගේ ඇරයුම එනකං හිටීවියෑ zසෝයා, මං අඬගහනකොටත් එයා හිටියේ මගේ ඉස්සරහා තම දනහිස්වල හිටගෙනයි (දෙව්මැදුරුවල සමාව ගන්න දනගසන් ඉන්නේ, අන්න ඒ වගේ) පුදුම කෙල්ලෙක්! කවදත් අප බලාපොරොත්තු නොව දේ කරන කෙල්ලෙක් තමයි zසෝයා, විමතියෙන් පිරුනු ඇස් වලින් මොහොතක් ඈ දිහා බලාගෙනම සිටියෙමි. ​(හදවතේ දොරට පොඩි තට්ටුවක් වැටුනාක් මෙන් දැනිනි​) මගේ අත්වලින් අල්ලා ගත්තාය​, අත් දෙකෙන්ම අල්ලා ගත්තාය​.

(පියවී ලොවේ කිසිදා...එක්වන්නේ නෑ................ එනමුත් මගේ හදින්...වෙන්වෙන්නේ නෑ...............) 

මගේ නම කියමින් (ඇයට මගේ නම හරියට උච්චාරණය කරන්න බැහ​) එක දෙයක් කියන්නම් අහනවද​? ඇසුවාය​.

මා         : අහන්න​ , මොකක්ද?

zසෝයා:  ෆේජී මට කරදර කරනවා? ඇය කීවේ, ම් අගේ ඔලුව අවුල් කරමිනුයි (මම දැන හිටියා, කවදා හරි ෆේජී ඈ පස්සෙන් යන බව​) ඕඕහ් ඕකටද එහෙනං ආවේ? සිත ඇතුලේ ඇතුලේ කියවිනි.

මා        :  ආ..ආ ඒකද? මං ඒක බලා ගන්නම් ඔයා බය නොවී ඉන්න, ​මං එයාට කියන්නම්, එපා කියලා (පංතියේ ඔක්කෝම හිතං හිටියේ ෆේජී මට අවනත පුද්ගලයෙක් කියලයි) 'ඔයා කලබල නොවී ඇවිත් මෙහේ වාඩිවෙන්නකෝ' මගේ අසලම ඉඩක් පෙන්වා මම කීවේ, ඈ මා ඉදිරියේ දන ගසන් ඉන්න එක මට නිකං මොකක්දෝ වගේ දැනුනු නිසයි.

​සිද්දවෙන දේ තේරුමක් නැතිව තවමත් චායිනී(කේතල​)ය තවමත් අතේ තියාගෙන​ සිටි රියාල්, ආඳෙක් වගේ බලං හිටියේය​​. 'නිකං දෙමළ​ පිචර් සීන් එකක් නේ යන්නේ' තමනුත් ඔතන ඉන්නවයි කියන එක අඟවන්නදෝ 'උන්මන්' තේ එකක් හදන්නද​? ඇසුවේය​. නැත්නම් කෝපියක්? මගෙන් අසා 'zසෝයා, හෝචස් දමාzෂ්නී කොෆී'(zසෝයා, නිවසේ කුඩුවලින් කෝපියකට කැමැතිද​?) ඔහු ඇයගෙනුත් ඇසීය​. අප්පේ, ඇත්තටම! කතා කරන කොටයි මතක් උනේ, රියාල් තාම ඔතන.​ මගේ වගකීමට මමත් ඇසුවා ඇගෙන්, මොනව හරි බොනවද කියලා. ඒත් මම දන්නවා, zසෝයා, කවදත් අනුන් සිතන​ දේ නොකරන බව​​.

(දෙතැන තනිවී සදා..... හෙළන සුසුමන් නිවා... ඔබ එන්න මා.......)

නිඃ නාධා...ඵෂ්ලී පඃ​ දෙවියාතම් එතාzෂ්‍යේ (එපා, අපි යමු නවවෙනි මහලට​) ආයෙමත් ඇය මාව හොල්මන් කලාය​, අපේ නේවාසිකයේ නවවෙනි මහලක් නෑ, තියෙන්නේ ගොඩනැගීල්ලේ අවසන් එළිමහන් බිමයි. මැයට විකාරද මන්දා (මම කලින්ම කිව්ව නේ, මැය කවදත් වෙනස් කියල​) මේ සීතලේ එහේ මොකට කතා කරනවද​? මා තනියෙම කියෙව්වෙමි. ච්තෝ තීඃ නිප්‍රිද්‍යෝෂ්, ම්ම්ම්ම් නොඃ යා පෂ්ලාඃ(ඇයි ඔබ එන්නැද්ද, එහෙනං ම්ම්ම්ම් මං එහෙනං යන්නම් ​)?පෙර ඝර්වයෙන්ම කීවාය​. ​ප්‍රිදූඃ(එනවා) බයටම​ කියවුනේ, බැහැයි කිව්ව නම් දාලා යයි කියල මගේ සිතේ ඇති වූ බයක් නිසාමයි. ම්ම්ම්,,ඒ මොකක්ද​? මට මොකද වුනේ? ඇගේ වචනෙට පිටුපාන්න මට මට බැරි වෙලා. පහුරු බැඳන් තිබූ මගේ හදාරක්‍ෂක​ කොටුවේ සිදුරු වැටිල බව ඉවෙන් මෙන් දැනුනා​​. අංශයේ අවම දැනුමක් මට තිබුනත්, මෙලහකට​ත් මම වැටිලයි කියන එක නම් තේරිනි. මම ඇය පසු පසින් යන්න වුනෙමි, නගුට වැනුවේ නැති එකයි අඩු.

මාර්තු 8 වෙනිදා රාත්‍රිය මෙහේ කොහොමද මං බලල නෑ, එදා ඒ දපාzෂයේ නම්, හඳක් පායලා තිබුනා. ආර්ද්‍රතාවය නිසා නොපැහැදිලිව පෙනුනු හඳේ එළිය අප මත සුමුදුව වැටී තිබුනි. එයින් එළිය ලැබූ zසෝයාගේ පිරිනු වත ඒ සඳ මෙන්ම එළියමත්ව පෙනිනි. (එය මට​​ මංගල රාත්‍රියයි, මෙපමන කලක් ස්ත්‍රී පරානයක ආශ්‍රයක් නොලබා, ඒවයේ හොඳ නරක ගැන දැනුමක් නැතිව සිට​, අයනු අකුරෙන් අද අද අරඹන​ මගේ ආදර ගමනේ, මංගල හමුවීමයි, එය රාත්‍රියක වූ නිසා එය මගේ මංගල රාත්‍රියයි) හරි හැටි ජැකට් එකක්වත් දාගන්න දෙන්නේ නැතිව මාව ඇදගෙන ආපු zසෝයා මාව සීතලේ වෙව්ලන්න ඇරියාය. ''සිගරට් පැකට් එකවවත් ගන්න දුන්නෑ හැතිරී" මා හිතින් බැන (නො)වැදුනෙමි. 

තමාගේ උසේ අඩකට​ වූ කොන්ක්‍රීට් බංකුවක් මෙන් එකක මාව ඉන්දවූ zසෝයා, පළල් කල මගේ කකුල් අතරට පැමින, ඇගේ තිබූ ඒ ඝර්වාන්විත ස්වරයෙන්ම ''තීඃ මින්‍ය ලූබිෂ්(ඔබ මට ආදරය කරනවද​)? විචාලේ,පිහියක් බෙල්ලේ තියාගෙන​, 'කිව්වේ නැත්තම් මරනවා' කියන විලාසයෙනි ( මෙහෙම ආදරේ ඉල්ලන​ ක්‍රමයකුත් තියෙන බව එදයි මං දැන ගත්තේ)​. ඒ ප්‍රෂ්නයට එකවරම පිළිතුරක් නාවත්, මම ධාඃ(ඔව්) කීවේ. හිතට එකඟ පිළිතුරක් මගේ මුවගට නාව නිසයි. ''නියතඃ නියතඃ ප්‍රාව්ධා ස්කෂීඃ, තීඃ මින්‍යා ලූබිෂ්..ඉලි නියත්(නෑ..නෑ..ඇත්ත කියන්න, ඔබ මට ආදරය කරනවද..​නැත්තම් නැද්ද​)? zසෝයා නැවතත් ඇසුවේ ආවේගයකිනි.

ඇගේ ඔය දඟකාර කමටයි මම කැමැති, ඒ කැමැත්ත පංතියේ දීම මට තිබී, එය ඉස්මතු නොවී, අද මේ අවස්තාව තෙක්ම එය​යටපත්වෙලා තිබුනේ ඇයිදැයි මට නොතේරිනි. ඒ තත්පරය තුල අතීතයේ ඈ මාව ආකර්‍ෂණය කල නොකළ​ කරුණු සියල්ල​ එක්තැන් වෙලා ඇති බව මට තේරිනි, දුටු නරකට වඩා හොඳ වැඩි බවින්, භාහිර කරුණු හරහට හිටියත්, ඕවා සාදක නොවන බව නිගමන් වී, හදේ කොළ එළිය දැල්වී මසිතේ කොළ දජය ලෙල දෙන්න වුනීමම එක සිතින්ම​ ''ධාඃ, යා තිබ්‍ය ඕඕචින් ලුබුලූඃ( ඔව් මා ඔබට ගොඩාක් ආදරෙයි) මට​ දිග සුසුමක් පිට වුනේය​. ඇගේ ඇස් සතුටින් එළිය දෙන්න විය​​. ''ඔබ දැන් කී දේයි සත්‍ය​, එය මා ඔබේ ඇස්වලින් දුටුවා'' මගේ ඇස්වලින් මගේ හදවත කියවූ මේ දාසය හැවිරිදි  zසෝයා ගැන​ මම පුදුම වුනෙමි. 

ඒ ගෙවුනු තත්පර කිහිපය තුල, ඈට ඇති වූ මගේ ආලය ​නොනැවතී ඉහළ යමින් තිබිනි. එය ආදරයක්මද නැත්නම් ප්‍රිය අභිප්‍රායක්ද කියන එක පැටලවිල්ලක්ම විය​. කෙසේ නමුත් මගේ මුවින් ඈට මගේ ආදරය ප්‍රකාෂ කරල හමාරයි, ඇය දැං මගේ පධෲගා(ආදරවන්තිය)යි. නුපුරුදු සීතලට ඔරොත්තු දෙන්න බැරිව මගේ නාසයෙන් පිටවෙන සොටු පිසදා ගැනීමට යමක් නැතිව මා ලතැවෙන්නට වූ මොහොතේ, තම කබා සාක්කුවෙන් එලියට ගත් ලේන්සුවකින් මගේ සොටු පිස දැම්මාය​. ආදරයේ රසය මට තේරෙන්නට වින. ආදරය කිරීම සතුටක් නම්, ආදරය ලැබීම සතුටේ ඉහළම තරයයි. මම එය ලැබුවෙමි.

මම කිසිවක් නොකීවත්, ඇය මං ගැන ඔහේ කියවන්න වූවාය​. තමා ආදරය කලේ මට නොව මගේ ඇස් දෙකටයි කියා කිසි අනුකම්පාවකින් තොර​ මගේ මුහුනටම කීවාය​. කිසිත් නොකියා මා ඈ දෙස සෙනෙහසින් බලා සිටියාඇය​ කුඩා ළමයෙක් මෙන් නොයෙක් දේ දෙඩෙව්වාය​, කලාය​, ඇය කියන කරන සෑම දෙයක්ම මට​සතුටක් විය​. මොහොතකට පෙර ගෝස්ති පැමිනි දේවුෂ්කි, රියාල්, ෆේජි, ඊගර්, zසියාඩ් සියල්ලෝවම අමතක වී තිබිනි. මා ඉදිරියේ සිටියේ zසෝයා පමනයි! සිත පුරා සිටියේ zසෝයා පමනයි!... මගේ අරමුන, මගේ 'එංගලන්ත' සිහිනයත් මට අමතක වී තිබිනි.... මගේ සිතේ සියුම් ආශාවක් ඇති විය​. හමුවීම සනිටුහන් කරන්න උවමනා වුනි, චකිතයක් දැනිනි, න්නෑ...නැත්තම් ඕන්නෑ, මුකුත් නෑ වගේ කරබාගත්තෙමි. 

ච්තෝ(ඇයි) පච්චිමෝ තාක් තිඃ නිස්පකොයිනොයි, ආආ( ඔබ ඇයි අසනයෙන් වගේ  ආආ)'ඇය මගෙන් ඇසුවේ ඔක්කල්ලා සිනහවක් පාමිනි. ඇයට තේරුනා වත්ද​?​, මම ලැජ්ජාවෙන් ඇඹරුනෙමි. මොහොතක් මා දිහා උපේක්‍ෂාවෙන් බලං ඉඳ​,  මගේ කලව අතරින් තව තවත් මට​ ලං වූ ඇය, මා ආෂා කල එය මට​ ලබා දුන්නේ මා නොඉල්ලාමය​. ඔව්, මගේ zසෝයා ඇගේ පළමු හාදුව මගේ තොල්වල පතිත කලාය​ (එය ජීවිතයේ මා ලැබූ පළමු හාදුවද විය) සීතල පසුබිමක ඇගේ උනුසුම් තොල්වල රසය මාව මා නොදත් කොහේදෝ රැගෙන ගියේය​. එය කිසිදා විඳී නැති දිව්‍ය රසයකි........................................ 

''ඇගෙන් ලැබුනු ඒ හාදුව ඇගෙන් සමුගෙන මා උක්‍රේනයෙන් පිටවෙන තෙක්ම මාව ආරක්‍ෂා කලේය​'' 

මේ ඉහත වචන පේලිය මා ඔබ ඉදිරියේ තැබුවේ, විශේෂ කරුණක් නිසයි. මා නැති නිසා ඊගර්ගේ සහායට ඉදිරිපත්ව මගේ අඩුව මකා ඇති zසියාඩ්, මොකක්දෝ ලෙඩක් නිසා සති දෙකක කාලයක් බෙහෙත් කල බව පසුව​ සඳහන්​.

පසු වදන​'

මා කතාවේ ගොනු කරන්නේ, මා ඝෘජුවම  සම්භන්ද වන, මා ඈත ඉඳන් දුටු හා අසා දැන ගත්තු කරුණු අදාල කරගෙන, මට නිගමන් වූ මගේ මතයයි. කතාව තුල සඳහන් වන කරුණු සමඟ කවුරුන් එකඟ නොවේ නම්, එය ඔවුන්ගේ නිගමන් හෝ ඔවුන්ගේ මතය බව කරුණට ගන්න​.

මගේ අක්‍ෂර වින්‍යාසයේ ගැටළුවක් තිබෙන බව පිළිගන්නා බවත් ඒ වෙනස් වන අකුරකින්, පදයේ හෝ චේදයේ අරුත ඔබ වෙත නොලැබී නොයන බැවින් එසේ වැරදෙන අකුරකින් හෝ වචනයකින් කලබල නොවී මාව ලොකු වරදකරුවකු ලෙස නොබලා සමාදානයෙන් ප්‍රතිචාර දක්වන ලෙස ආදර පාඨක, සහෘද බ්ලොග් මිතුරු ඔබලාගෙන් ඉල්ලා සිටිමි,

සැමට ජය​....