Wednesday, August 23, 2017

නිල් තල්මස් අභියෝගය​!


අද ලොව පුරා ආන්දෝලනයට ලක්ව ඇති Blue whale challenge 'නිල් තල්මස් අභියෝගය' හෝ Blue whale game 'නිල් තල්මස් ​තරඟය​' (Синий кит, SINNI KIT) මේ වන විටත් ලොව පුරා තරුණ​ ජීවිත 200 කට ආසන්නව බිලිගෙන හමාරයි. මෙය දැනගන්නට ලැබෙන්නේද​, තවත් අවාසනාවන්ත මරණයක් අසල ඉන්දියාවේ කේරලයෙන් වාර්තා වන නිසාවෙනි.

පසුගිය ජූලි 26  තිරුවනන්දපුරම්හි මනෝජ් සී මානූ නම් 16 හැවිරිදි තරුණයා ගෙදර වහලයේ එල්ලී ගෙල වැල දාගෙන සිය දිවි නසාගෙන ඇත​. ඔහුගේ මව කියා සිටියේ තම පුතු අන්තර්ජාලය හරහා කිසියම් තරඟයක් ක්‍රීඩා කරන බව  තමා දැන සිටියත් මෙතරම් දෙයක් ඔහු සිදු කර ගනීයි කියා කිසිසෙත් නොසිතූ බවයි. වීදුරු කැබැලිවලින් තමාගේ අතේ ඔහු කැටයම් කරගෙන තිබූ දසුන තමා දුටු බවත් ඇය පැවසූවේ හැඬූ කඳුලෙනි. තරඟ අවසානයේ එක්කෝ කෙනෙක් මරුමුවට පත් කල යුතුයි හෝ තම දිවිය නසා ගත යුතුව ඇති  බව තම පුතු කියා තිබුනා තමාට මතක බවත් එම මව වැඩි දුරටත් කියා සිටියාය. අවුරුදු 22ක් වියති සවන්ත් ගෙදර බල්කයේ එල්ලී මිය යාමද සිදුවන්නේ මෙම​ කේරලයේමය​, එයටත් හේතු කාරකයාද මේ නිල් තල්මසාමයි. ඉන්දියාවේ පළමු නිල් තල්මස් සිය දිවි හානිය වාර්තා වන්නේ මුම්බායිහිය. ලොව නන් දෙසින් මෙවන් අවාසනාවන්ත මරණ සිය ගනන් වාර්තා වන්නේ මේ නිල් තල් මස් අභියෝගය හේතුවෙනි.
යුරෝපය​, ඇමරිකාව, ආසියාව, මැදපෙරදිග හා තවත් රටවල් බොහොමයක තරුණ තරුණියන් මෙම තල් මස් අභියෝගය නිසා ගොදුරක් බවට පත්වී ඇත​.

අන්තර්ජාලය හරහා කෙරෙන මෙම තරඟය දැනටමත් ලොව පුරා ඇති රටවල් ගනණකම පැතිරී ඇති බව වාර්තා වන අතර​ තරඟයේ ස්ව්භාවය වන්නේ, පාලකයා Admin විසින් දෙනු ලබන විවිද අභියෝගයන් ඉදිපත් වන තරඟ කරුවන් පිළිගෙන ඒවා කාර්‍යයට නැංවීමයි. දින 50ක් තුල දී දෙනු ලබන අභියෝග 50කට තරඟ කරුවා මුහුන දිය යුතු අතර​ එහි අවසන් අභියෝගය වන්නේ තරඟ කරුවාව සියදිවි නසා ගැනීමට අණ කිරීමයි. නිල් තල්මහ යන නියමය පැමිනෙන්නේ වෙරලාශ්‍රිත තල්මස්  beached whales යන සංසිද්ධිය හරහාය​, මෙය සිය දිවි නසා ගැනීම හා සම්භන්ද වෙයි

මෙම තරඟය 2013 රුසියාවේ පළමුව ආරම්භ වන්නේ  'ව්කොන්තක්ති' VKontakte යම සමුහ සමාජ ජාලයේ එක් නමක් වන 'F57' සමඟ වන අතර එම හේතුවෙන් සිදුවෙන ප්‍රතම දිවි නසා ගැනීම සිදු වන්නේ 2015 දීය​. විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද 22ක් වියති පෙර මනෝවිඥාන psychology සිසු 'පිලිප් බුදෙයිකින්' Philipp Budeikin මෙම තරඟයේ නිර්මාතෘවරයා වෙයි. බුදෙයිකින් පවසා සිටින්නේ මෙම තරඟය නිර්මාණය කිරීමෙන් තමාගේ අරමුණ වන්නේ වටිනා නැතෙයි හැඟෙන ජීවිත දිවිනසා ගැනීමකට පොලොඹවා එමගින් සමාජය පාරිසුද්ද කිරීම බවයි.

2016 දී රුසියාවේ මෙම තරඟය තරුණ තරුණියන් අතර ප්‍රචලිත වන්නට වූ අතර හේතුවක් නැතිව සිදුවෙන දිවි නසා ගැනීම් සඳහා නියතවම පාදක වන්න ඇත්තේ මෙම 'නිල් තල්මස'ම බව එරට මාධ්‍යයන් ලෝකයේ අවදානයට ගෙන ආවේය​. පසුව පිලිප් බුදෙයිකින් අත් අඩංගුවට ගනු ලැබූ අතර තරුණියන් 16 දෙනෙකුගේ දිවි නසා ගැනීමේ පෙළඹවීම් කාරකයා බවට​ වරදකරු කරනු ලැබී​​න.

තරඟය පදනම් වන්නේ, තරඟ කරුවා ( සහභාගි වන්නා) හා පාලකයා අතර ඇති වෙන සම්බන්ධතාවයක් මත වන අතර මේ හරහා අනිර්වාර්‍යයෙන් සම්පූර්ණ කල යුතු කර්තව්‍යයන් සමූහයක් පාලකයා විසින් තරඟ කරුවා වෙත දෙනු ලබයි. සාමාන්‍යයෙන් දිනකට එකක් වන මෙම අභියෝගයන් අතර තමා තමාවම සීරා ගැනීම් self-mutilation ද වෙයි. සමහරුන්ට පෙර දීම අභියෝගයන් දෙනු ලබන අතර සමහරුන්ට එදින දීම පාලකයා විසින් නියම කරනු ලබයි, අවසන් අභියෝගය සිය දිවි නසා suicide ගැනීමයි.

දින් 50ක් තුල සම්පූර්ණ කල යුතු කර්තව්‍යයන් අතර අලුයම 4.20 අවදි වීම දොඹකරයකට නැගීම​, 4.20 ට අවදි වී භිය උපදවන චිත්‍රපට නැරඹීම​, එය දවස පුරාවටම නැරඹීම,​ දෙනු ලබන විශේෂිත​ වාක්‍යාංශයක් තමාගේම අතේ හෝ ඇන්දේ කැටයම් කර ගැනීම​, රහසිගත කර්තව්‍යයන් කිරීම​, ඉදි කට්ටක් වැනි තියුනු යමකින් අල්ලේ හෝ පයේ ඇන ගැනීම, තොල් කපා ගැනීම​, තමන් තමාවම රිදව ගැනීම, ​පාලමක හා ගෙයි වහලක කොණක සිටගැනීම්, පාලකයා විසින් දෙනුලබන ගීත හා දසුන් ඇසීම හා නැරඹීම. පෙර කී හා තවත් අමතර සියළු දේ පාලකයා විසින් දෙනු ලබන්නේ තරඟ කරුගේ විශ්වාස වන්ත භාවය පරික්‍ෂා කිරීමටයි. අවසානය වන්නේ ගොඩනැගිල්ලක සිට පහලට පැනීමය. ​

 ගීත අතර (ස්කොට්ලන්තයේ රූප ගත කල) නෝර්වේජියානු ගායක එමිලී නිකොලොස් Emilie Nicolas ගේ ​ 'Pstereo' වේග රිද්ම ගීතයද අඩංගු වෙයි. (ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා නගරයේ රූපගත කර ඇති) ඔස්ට්‍රේලියානු ගායක සාරාහ් බ්ලස්කෝ Sarah Blasko ගේ  පිටිසර​-ග්‍රාමාශ්‍රිත බෙනී BENYගේ ගීතයක් වන නිතර පහේ මතකෙට නැගී සිත​ පහරන​ සුළු, කණස්සලුව ​මුසුවූ "All I Want" ගීතය පෙර ගීතයට මුසු කරමින් තරඟකරුවන් වෙත පාලකයා විසින් පිරිනමනු ලබයි.

මා මෙතන කියන කාරණය වැදගත්ද නොවේද කියන එක මටම ප්‍රෙහෙළිකාවක් වන මුත්, සාමාන්‍ය කෙනෙක්ව දිවි නහගන්න තරම් මානසිකත්වයට පත්කිරීමට මෙහි නිර්මාණ කරු 'පිලිප් බුදෙයිකින්' කෙතරම් දක්‍ෂයෙක්ද, ආකර්‍ෂනශීලීද​, ආධිපත්‍යය සපිරි කෙනෙක් වන්නට ඇත්ද​ කියන එක ඉස්මතු කර පෙන්ව​න්නයි මගේ උවමනාව​. එහෙයින් මෙම ක්‍රීඩාව අත්හදා බැලීමට යාම පවා දැලිපිහියෙන් කිරි කනවා හා සමාන බවයි මගේ මතය​. මෙම වසංගතය දැනටමත් අපේ රටටත් පැමිනී ඇත්ද හෝ තවමත් නැද්ද, මේ වනවිටත් එය මෙහි අපේ ළමයි අතරට පත්වෙලාද, නැද්ද කියන දේ බලධාරීන් අනිර්වාර්‍යයෙන් සොයා බැලිය යුතුයි. එය එසේම වී ඇත්නම්, පරික්‍ෂාවට හෝ එය දෙසට යොමුවීමෙන් අපේ ළමයි වලකාලීම අපගේ වගකීම බව අවදාරනය කර සිටිමි.

මේ සම්භන්ද තොරතුරු බොහෝමයක් මා විකිපීඩියාවෙන් ලබා ගත් අතර, මේ ගැන වැඩි දුර තතු දන්නන් ඒවා අප සමඟ බෙදා ගනිමින් සමාලෝචනයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙසද මා මෙයින් ඉල්ලා සිටිමි.


ස්තූතියි


No comments:

Post a Comment