Thursday, May 28, 2015

බොඳවී ගිය අපනයන සිහිනය​ !


downloadකරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාව නිසාමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේය​. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළ​තුරු අපනයක් පිළිබඳ යෝජනාවයි. රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය​. ඔහු යෝජනා කල මිලද සිත් ගත් නිසා, අපනයනය ගැන කිසිත් නොදත් මා ලහි ලහියේ සාධ්‍යතාවන් ගැන සොයන්න ගත්තේ, ඥාතියා 'මා හැර වෙන කෙනෙක් සොයා ගනීවිදෝ' යන​ බිය නිසයි.

එළවළු වල මිල ගණන් විමසීමෙන් පසු අපනයන ප්‍රවාහන ගාස්තුද දැනගැනීමෙන් අනතුරුව ඇති වූ තරමක විශ්වාසය නිසා අපනයන සංවර්ධන මන්ඩලයේ ලියාපදිංචිය හා අනු දැනුම් ලබා ගැනීම් පසුව කෙරෙන කාර්‍යයන් වන අතර කල යුතු ප්‍රතම දෙය වූයේ ව්‍යාපාර නාම ලියාපදිංචියකි. ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ පුද්ගල ලියාපදිංචි අංකයක් හා වැට් ලියාපදිංචියක් ලබා ගැනීම​, රේගුවේ අපනයනය කරුවෙකු වශයෙන් ලියාපදිංචි කිරීම අපනයනයට පෙර සිදු කල යුතුව ඇත​. ඒ සියල්ල සිදුවන්නේ ව්‍යාපාර නාමයක් යටතේයි.

එහෙනම්‍, මගේ පලමු කාර්‍යය, ව්‍යාපාර නාමයක් ලියා පදිංචි කිරීමයි..........

කෙසේ නමුත් යුරෝපයේ රටකට ද්‍රව්‍ය අපනයනය එයිනුත් එළවළු, පළතුරු අපනයනය පහසු කාර්‍යයක් නම් නොවන වග මා දැනගත්තේ ඒ ගැන වැඩිදුර සොයාගෙන යාමේ දීයි. එළවළු ගෙඩියේ ස්වාභාවික වර්ණයට හෝ ස්වාභාවයට වෙනස්ව සුළු පැල්ලමක්, තිතක් හෝ ඒ මත වැටී තිබුනොත් ගුවන්තොටුපලේ තත්ව සහතික නිකුත් කරන කෲෂිකර්ම නිලධාරී තැන​ විසින් නිශ්ප්‍රභා කරන​ බව මා දැනගත්තෙමි. 'කෙසේ හෝ බාදක බිඳගෙන ඉදිරියට යනවා' ලෙස​, දැඩි අධිෂ්ඪානයකින් යුතුව මා දේ කෙරේ එළෙඹුනේ 'උත්සාහවන්තයා ජය ගනීයි' කියන එකක් කුඩා කාලයේ කොහේ හෝ පොතක කියවා ඇති බව මතක් වූ නිසයි.

අපනයනයක් යනු රටකට විදේශ විනිමය ගෙන දෙන්නක් හා එම ආර්තිකය ශක්තිමක් කරන්නක්ද, මුදලේ අගය වැඩි කරන්නක්ද​ ස්ව්‍යංව නැගී සිටීමට රුකුල් වන්නක්ද වන​ බැවින් බලධාරීන්ගෙන් සහයෝග, දිරිගැන්වීම් නිරන්තරයෙන්ම ලැබේවීයි යන​ බලාපොරොත්තුව ඇතුව දැඩි විශවාසයකින්ද යුතුව​, බලාපොරොත්තු වන අපනයනය සඳහා ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කර ගැනීම සඳහා සහකාර අධ්‍යක්‍ෂක කාර්‍යාලයට මා ගොඩවුනේ දහසකුත් සිහිනයන් හිතේ මවාගෙනය​. එම කර්‍යාලයේ අංශය බාර ලිපිකරු ඒ සඳහා අයදුම් පත්‍රිකාවක් ලබා දී, ඒ පිරවූ අයදුම් පත සමඟ මා විසින් සැපැයිය යුතුයි කියන​ ලියකියවිලි පිළිබඳ විස්තර පත්‍රිකාවක්ද මා වෙත දෙන ලදී. ලියාපදිංචිය සඳහා සති දෙකක් පමන කාලයක් ගතවන බවත් මට දැනුම් දෙන ලදී.

1. නව ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍රය (රු 5.00 ක මුද්දරයක් ඇලවීම​. හවුල්    ව්‍යාපාර අයදුම් පත්‍රයකට සමාදාන විනිශ්චයකාරවරයෙක් අත්සන් කිරීමේ දීරු 100 ක          මුද්දර ඇලවිය යුතුයි)

2. ඉල්ලීමේ ලිපිය​.

3. ආදාල පලාත් පාලන අයතන ( මහනගර සභා, ප්‍රාදේශීය සභා ) මගින් එම වර්ශයට                නිකුත් කරන ලද වෙලඳ බලපත්‍රයේ ඡායා පිටපතක්.

4. ව්‍යාපාර ස්ථානයට අදාල ඔප්පුවේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිතපතපක් සහ      පත්-ඉරු මුල් පිටපත ​( බදු / සින්නක්කර )

5. ඉඩම වෙනත් අයිතිකරුවෙකු සතුනම් අයිතිකරු විසින් ග්‍රාම නිලධාරීඉදිරිපිට අත්සන්           කරන ලද කැමැත්ත ප්‍රකාශිත ( ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ ) ලිපිය​.

6. ව්‍යාපාරයක් කරගෙන යාමේදී සුදුසුකම් තහවරු කිරීමේ සහතික ඉදිරිපත් කළ යුතුයි.( ආයුර්වේද ​)

7. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වාර්තාව (ආහාර ද්‍රව්‍යය අලෙවි කිරීම, ආපනශාලා, ෆාමසි )

8. ව්‍යාපාර ස්ථානයේ නාම පුවරුව ප්‍රදර්ශනය කර ඇති ආකාරයට ඡායාරූපයක්.

9. පරිසර නිලධාරී වාර්තාව අවශ්‍ය පරිදි.

10. අයදුම්කරුගේ / අයදුම් කරුවන්ගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඡායා පිටපත්.

11.  ව්‍යාපාර ස්ථානයට ආදාල ග්‍රාම නිලධාරී වාර්තා.

මේ මා ඉහත සඳහන් කළ​ ඒ විස්තර පත්‍රිකාවේ ඉස්පිල්ලක් පාපිල්ලක් හෝ වෙනස් නොකරන ලද කරුණු 11 ක් අඩංගු සටහනක් වන අතර ඒ කරුණු සපුරාලිය යුත්තේ මා අලුතින්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වන අපනයන සමාගමක නාම ලියාපදිංචිය වෙනුවෙන් බවට මෙනෙහි කිරීම වටීයි.

පොදුවේ අප රටේ සාමාන්‍ය​ ව්‍යාපාරිකයන් ව්‍යාපාර නාම ලියාපදිංචියක් කරන්නේ එය ආරම්භ කර කාලයක් එහි නියලී සිටීමෙන් අනතුරුව, ඒවායේ හොඳ නරක දැන ගත්තායින් පසුවයි. ඒවා සාමාන්‍ය ව්‍යාපාරයන් වන අතර ඒවාට මෙවන් ලිපි ලේඛන ඉල්ලා සිටීම සාධාරන මුත්, 'අයන්න​' අකුරක්වත් නොලියවුනු අපනයන ව්‍යාපාරයක ලියාපදිංචිය සඳහා අංක 3, 8 යන වගන්ති වලින් විස්තර කරන දේ ඉල්ලා සිටී නම් අයදුම් කරු ( මම​) ඒවා කොහින් ගෙනෙයිද​? ගෙනෙන්නත් බැරි කමක් නෑ මේ ආශ්චර්‍යමත් අපේ ලංකාවේ (ඇයි හඳෙනුත් හාල් ගෙනත් දෙන්නම් කිවේ, අදක ඊයෙකද​? ) මා මෙතන උලුප්පා පෙන්වන්න උත්සාහ කරන්නේ 'මේවා සැබෑටම ප්‍රායෝගිකද හා සාධාරනද​' බව නැවත සලකා බැලිය යුතු යම් කරුනූන් ගැනයි.

අංක 3 වගන්තියෙන් ඉල්ලා සිටින 'වෙළඳ බලපත්‍රයේ පිටපත​' එනම් වෙළඳ බලපත්‍රය​ ලබා දීම සඳහා රු 5000 + + අය කෙරෙන අතර එය නිකුත් කිරීමේදී ආදාල පලාත් පාලන ආයතනයේ නිළධාරිවරයෙක් ලව්වා පරීක්‍ෂණ වාර්තාවක්ද ගනු ලබයි. සරිලන තරම් වෙළඳ ද්‍රව්‍ය තොග ගබඩා කර තිබීම, පරීක්‍ෂක වාර්තාව ලබා දීමේ දී  කරුණට ගනීයි. එළවළු හා පළතුරු අපනයන ව්‍යාපාරයක් නිසා පරීක්‍ෂකට දැක බලා ගැනීම පිනිස,​ සරිලන තරම් එලවළු සහ පළතුරු තොගයක් ගබඩා කර තැබීමට අයදුම් කරු ( මට ) සිදුවෙයි.  මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වාර්තාවද ඉල්ලා සිටින බැවින්, නිෂ්ප්‍රභා නොවන්නම බලාගෙන ඉතා නැවුම් එළවළු, පළතුරු ගබඩා කර තැබීමට අයදුම් කරු (මා) කල්පනාකාරී විය යුතුයි.

( දඹුල්ල ආර්තික මධ්‍යස්ථානයේ කරවිල කිලෝ එකක තොග මිල අද රු 170 කි,  අපනයනය සඳහා සකස් කිරීමේ දී මුලු තොගයෙන් අඩකට ආසන්න​ (+ - )තේරී ඉවත් වන බවද​ සඳහන් කල යුතුයි.)

වගන්ති 8 න් ඉල්ලා සිටින​ ව්‍යාපාර ස්තානයේ නාම පුවරුව ප්‍රදර්ශනය කිරීම ගැන කරුණට ගත් විට, ව්‍යාපාර නාමයක් තමාගේම බවට තහවරු වන්නේ, එම නම වෙනත් කවුරුන් විසින් මීට පෙර වෙන් කරවාගෙන හෝ ලියාපදිංචි කරවාගෙන නොමැති තත්වයක දීය​. එය එසේ නම්, අයදුම් කරු ( මා ) අපෙක්‍ෂා කරන එම​ වෙළඳ නාමය සහිත නාමපුවරුවක් සඳහා වියදමක් දරන්නේ කිනම් විශ්වාසයක් මතද​? නොතේරෙන හින්දයි මං අහන්නේ....සල්ලි කියන්නේ කොස්කොලද​? ???

සති දෙකකින් කෙරෙන නාම ලියාපදිංචිය, කොහොම හරි පින්සන්ඩු වී සතියකින් මං කරගත්තා කියමුකෝ. එතකොට ඉතිරි, අපනයන සංවර්ධන මන්ඩලය​, ආදායම් බදු දෙපාර්තමෙන්තුව​, රේගුව වල කෙරෙන ලියාපදිංචි එක දිනකින්ම කර ගත්තා කියමුකෝ. ඔක්කෝම එකතුව දින අටයි, හරි නේද​? දැන් මං ඔය ගබඩා කරගෙන තියෙන​ ඔය එළවළු ටික රෝමයට ගුවන් ගත කරන්න පුළුවන්ද මට​? ??? මොන ගුවන් ගත කිරිලිද ! අර කලින් ආපු PHI මහත්තයාම ඇවිල්ලා අයදුම්කරු(මා​)ව උසාවි කැඳවලත් ඇති මෙලහකට​. නොකර ඉඳීයිද, කුනු වෙච්චි එළවළු තියාගෙන හිටියහම? ඒ මිනිස්සු රාජකාරිය කරන්න එපායෑ...නැද්ද මං අහන්නේ?

ඕං...ඔහොමයි පටන් ගත්තු තැනම ලොප් වුනු මගේ 'බොඳ වී ගිය අපනයන සිහිනය​' සිදුවුනේ..........

පසු වදන​,

මේ අප රටේ රාජ්‍ය ආයනවල ඇති ප්‍රායෝගික නොවන එක් කරුණක් පමනයි. මේ වගේ කොතෙකුත් ඇති අපි නොදන්නවාට. මං ඉහත මතු කල කාරණයේ දී, ඒ අයදුම්කරුට බැරිවුනාට, ඔය ක්‍රමයටම සියළු දේ කරමින් නාම ලියාපදිංචිය කරගෙන එළවලු අපනයනය කරන අය ඒ නගරයේම නැතුවා නොවෙයි. ඔවුන් ඒ දේ කරගන්න ඇත්තේ අනිර්වාර්‍යයෙන් මා මතුකල ප්‍රශ්නයට මුහුන දීලා වියදම් (නාස්තිය)දරලාය​. 

තත්ව පරීක්‍ෂනයට උපරිමව භාජනය වෙන, සාර්තක වෙයිදෝ නොවෙයිදෝ යන දෙගිඩියාවෙන් යුතුව පටන් ගන්න තනන මෙවන් ව්‍යාපාරයක් කෙරෙහි, කෙනෙකු දිරි ගැන්වනවා වෙනුවට ප්‍රායෝගික නොවන බාදක පනවා ඔහුව 'සිටි තැනම ලොප් කිරීම' මහා අසාධාරනයක් නොවේද​. 'පූදිනකොට පෙර නොව පැල කරන්නටත් පෙර කාපී' කියන්නේ මේකටයි. 

*බලධාරීන්, මේ දිහා තමන් ඉන්න තැන සිට නොබලා අයදුම් කරුවාගේ තැන සිට බැලුවා නම් මේවායේ ඇති ප්‍රායෝගික හෝ නොවන බාවය තේරුම් ගැනීමට හැකි වෙනු ඇ​ති බවට මගේ විශ්වාසයයි.
Post a Comment